ඉල්ලූ ලේඛන නොදුන්නැයි, ලංවිමටත් නඩුවක්

ජූලි 13, 2019

    මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි වාර්තා සහ ලේඛන ලබා නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා ලබන අගෝස්තු මස 02 වනදා පැමිණිල්ල කැදවන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    සිද්ධියට අදාළව චෝදනා ගොනු කරන්නේ මහජන උපයෝගිතා කොමිසම පනත ප්‍රකාරව ද විදුලි බල මණ්ඩල පනත ප්‍රකාරව ද යන්න සලකා බැලීමට දෙපාර්ශ්වයටම ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

    මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේ 2018 මැයි 28 දින සිට විදුලිය කප්පාදුව ඇතුලු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම හමුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටි වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් එම කොමිසම වෙනුවෙන් නිතිඥ මඩුල්ලක් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා සිටි ලේඛන ලබා නොදී අවශ්‍ය සහාය ලබා නොදුන් බව කියමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නව දෙනෙකු උත්තරකරුවන් බවට පත් කර නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා එම කොමිසම අධිකරණයේ කරුණු දක්වා තිබිණ.

    අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට කුමන පනත් අදාළ වන්නේද යන්න නිශ්චිත ලෙස සලකා බැලිය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන අගෝස්තු මස 02 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 07:41

    Latest News