ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙනවා; අගමැති

ජූලි 07, 2019

    වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේදී ඇතැම් සංවිධාන ඊට එරෙහිවී ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනතාවට ලැබෙන එම අයිතිය නතර කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටී. එතුමා මේ අදහස් පළ කලේ අම්පාර දිස්ත්‍රික්කයේ 1500කට වැඩි පිරිසකට සින්නක්කර ඉඩම් ඔප්පු බෙදාදීමට අද (07) එක්වෙමින්. එය ක්‍රියාත්මක කෙරුණේ, ඉඩම් හිමිකම්පත් දස ලක්‍ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන සමගාමීවයි. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “දැන් ඔය කෙටුම්පත සකස් කරලා කැබිනට් එකෙන් අනුමත කරන්න අවුරුදු දෙකක් ගියා. දැන් සංවිධාන දෙකක් මේක නවත්වන්න නඩු කියන්න හදනවලු. මේ නඩුවට ඉදිරිපත් වෙනවා. ප්‍රශ්නයක් නොවෙයි, නමුත් මේ සින්නක්කර අයිතිය දෙන එක කාටවත් නවත්වන්න බැහැ කියන එක මම කියන්න කැමතියි. මේ සටන අතඅරින්න බැහැ. ගිය සැරෙත් මෙහෙම කෙටුම්පතක් ගෙනවා එදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති, අපි ආණ්ඩුව එතනින් ගෙනාවා, මහ ඇමතිවරු ගෙනාවා ඒක නවත්වන්න. මේ සැරේ ඒක නවත්වන්න ඉඩ දෙන්නේ නැහැ. මේ වැඩවසම් ආකල්පයට ඉඩ දෙන්නේ නැහැ. ඔබ හොඳ නම් රට දියුණු කරන්න සින්නක්කර අයිතියත් ඔබට තියෙන්න ඕනේ. මට ඕනේ අද අපේ කෝටිපතියන්ට තියෙන, ලක්‍ෂපතියන්ට තියෙන ඒ සින්නක්කර අයිතිය ඔබට ලබලා දෙන්න. ඒක ලබාගන්න අපි පාරට බහිමු කියලා මම මෙතන ප්‍රකාශ කරනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    අම්පාර උහන ප්‍රදේශයේ ඉදි කෙරෙන පළමු කෘෂිකාර්මික නිෂ්පාදන සැකසුම් අධි කලාපයට මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. මෙය ඉදි කෙරෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන සැකසුම් අධි කලාප 23ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේයි. හෙක්ටයාර් 107ක භූමියක ඉදිවන මෙම කලාපයෙන් සෘජු රැකියා දස දහසක් සහ වක්‍ර රැකියා දස දහසක් උත්පාදනය කෙරේ.

    Latest News