උතුරු වෙරළාසන්න ජනතාවට අනතුරු ඇඟවීමක්

නොවැ 15, 2018

    මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ දී බටහිරට බරව, නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

    ඉන් අනතුරුව, මෙම පද්ධතිය අද සවස් කාලයේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කොට, දකුණු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවටයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන්, අද දින සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළඟේ වේගය හා වැසි තත්වයේ වැඩි වීමක් ආපේක්ෂා කෙරේ. මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළ ආසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකියි.

    උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, නිවේදනයේ සඳහන් වන්නේ. අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ තිබේ. අද සවස් කාලයේ උතුරු පළාත හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 100ත් අතර විය හැකියි.

    මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් තත්වයක් දැකිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 09:27

    Latest News