රජයේ සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව මෙයයි...

ජූලි 04, 2019

    රජයේ සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව මෙය බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිවීම සහ රජයේ සංවර්ධන කටයුතු රැසක් පිළිබද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැහැදිලි කරමින් මෙසේ පැවසීය. සමස්ථ රාජ්‍ය සේවකයින් වසර ගණනාවක් සිට ලැබුවේ සුඵ වැටුපක් බවත්, ඔවුන් තම වැටුප මදි යැයි නොයෙක් වර මැසිවිලි නගමින් සිය වැටුප වැඩිකර ගැනීම සදහා වසර ගණනක සිට පාරට බැස අරගල කළ බවත් වැඩිදුරටත් පැවසීය.

    රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රැපියල් 10,000කින් වැඩිකරන බවට දුන් පොරොන්දුව 2015 මැතිවරණයේදී වත්මන් රජය බලයට පත්වී මාස තුනකින් ක්‍රියාවට නැංවූ බව ද එම මුදල කොටස් හතරක් යටතේ වැටුපට එක් කළ බවද අමාත්‍යවරයා පැවසීය. මෙම රැපියල් දසදහසේ දීමනාව වැඩිවීමත් සමඟ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩිවූ බවද වැඩිදුරටත් පැවසීය.

    කළමනාකරණ සහකාර, හෙද,රියදුරු, කාර්යාල කාර්ය සහායක ආදී දීප ව්‍යාප්ත රාජ්‍ය අංශයේ සේවා රැසක වැටුප් වල පැහැදිලි වර්ධනයක් සිදුවූ බව ද සිය රජය යටතේ සෑම රජයේ සේවකයකුගේම වැටුප සියයට එකසිය හතකින් වැඩිවූ බව ද මද්දුම බණ්ඩාර මහතා පැහැදිලි කරන්නට විය.

    ඒ අනූව ඔහු පැවසූයේ අතිකාල සහ සංයුක්ත දීමනාද ඇතුඵව රාජ්‍ය සේවකයාට ගෞරවනීය අනාගතයක් උදාකරගත හැකි වැටුපක් වත්මනේදී ලැබෙන බවයි. 2015 වසරේ වත්මන් රජය බලයට පත්වී මුල් මාස තුනක කාලය තුළ විශ්‍රාමික වැටුප් සංශෝධනය සිදුකල බවත් රුපියල් දසදහසේ දීමනාවට අමතරව මෙම මස පළමුවන දින සිට රුපියල් දෙදහස් පන්සීයක දීමනාවක් රාජ්‍ය සේවකයින් හට ලබාදීමට කටයුතු සලසා ඇති බවත් ඒ ස්‍රදහා මේ වසරේ අයවැයෙන් රැපියල් මිලියන 10,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සිය කතාවේදී සිහිපත් කරන ලදී.

    මීට අමතරව රංජිත් මහතා සිය කතාව තුළදී රාජ්‍ය සේවකයින්ට ලබාදුන් අනෙකුත් පහසුකම් ලෙස මෙතෙක් ලබාදුන් නිදහස් දුම්රිය බලපත්‍ර දෙක, තුනක් දක්වා වැඩි කිරීමදවිශ්‍රාමිකයන් හට හිමිවන අග්‍රහාර රක්ෂණ පහසුකම් ප්‍රතිලාභ පිළිබදවද පැවසූ අතර වී බඩ ඉරිගු වැනි ගොවීන්ගේ අමුද්‍රව්‍ය සදහා හොද මිලක් ලබා දෙමින් රාජ්‍ය සේවකයන්ට මෙන්ම ගොවි, කම්කරු ආදී ක්ෂේත්‍ර රැසකට සහන සැලසූ බවත් කීය.

    රජය සිදුකළ අනෙකුත් සංවර්ධන කටයුතු ලෙස දැනට කිලෝ මීටර් 187ක් දක්වා අධිවේගී මාර්ගය සංවර්ධනය, ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් වල නවීන පහසුකම් ගොඩනැගීම ඇතුපව සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය, සුරක්ෂා රක්ෂණ ක්‍රමය හදුන්වා දීම, වාරිමාර්ග ව්‍යාපෘති රැසක් අරඹමින් වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනය, සජිත් ප්‍රේමදාස මහතාගේ ගම්මාන 2500 වැඩපිළිවෙල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 148ක මිල අඩු කිරීම, අක්ෂි රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීම, පිළිකා රෝගීන්ට සීමාවක් නොමැතිව ප්‍රතිකාර සදහා වියදම් කිරීම, ගැබිණි මවුවරුන් සදහා රුපියල් විසි දහසක පෝෂණ මල්ලක් ලබාදීම, වැඩිහිටියන් සදහා රැපියල් දෙදහසක දීමනාවක් ලබාදීම, අද වන විට සමෘද්ධිය ලක්ෂ හයක් සදහා ලබාදීමත්, ගම්පෙරළිය යටතේ එක් මැතිවරණ කොට්ඨාශයකට ග්‍රාමීය මාර්ග දියුණුවට ලක්ෂ 4000ක මුදලක් ලබාදීමත්, තෘතීයික අධ්‍යාපනය දියුණු කිරීම අරබයා යොවුන් සේනාංක හරහා ළමුන් හට තාක්ෂණික පුහුණුව ලබාදීමත් පිළිබද විස්තර කරන ලදී.

    රංජිත් මහතා රජයේ වැරදි පමණක් උලුප්පා නොදක්වන ලෙසත්, රජය සිදුකල සංවර්ධන ක්‍රියා සදහා ද ප්‍රචාරයක් ලබාදෙන ලෙසත් සමස්ථ මාධ්‍ය අමතා පැවසීය. මේ රටේ රජයේ ඉඩම් භුක්ති විදින සැමට සින්නක්කර ඔප්පුවකින් ඉඩමේ අයිතිය ලබාදීමට රජය කටයුතු කරන බවටද අදහස් දැක්වීය.

    අවසන් වශයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද රංජිත් මහතා පිළිතුරු ලබාදිය. සජිත්ව ජනාධිපති අපේක්ෂකයා බවට පත්කල යුතුයැයි මංගල පවසන බවට මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු කියා සිටියේ සුදුසු කෙනෙකු සුදුසු වෙලාවට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි. ඉදිරියේදී රාජ්‍ය සේවයට සිදුකරන බදවාගැනීම් පිළිබදව කල විමසීමකදී රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයකම පුරප්පාඩු සදහා ඉදිරියේදී බදවා ගැනීම් සිදුකිරීමට නියමිත බවයි. තවද විශ්‍රාම වැටුපෙහි කිසිදු කප්පාදුවක් නොකරන බවත් මේ දක්වා රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහිත තනතුරු සදහා බදවා ගත් සියල්ලන්ටම විශ්‍රාම වැටුප හිමි බවත් පැවසීය.අයි එස් ප්‍රහාරයෙන් පසු ඉතා ඉක්මණින් ආරක්ෂාව තර කල රට ශ්‍රී ලංකාව බවත් මේ වන විට රජයේ ආයතන වල සහ ජාතික ආරක්ෂාව තර කර ඇති බවත් පැවසූ ඒ මහතා බොරු බිය මවාපාමින් දේශපාලන වාසි නොගන්නා ලෙසත් වැඩිදුරටත් පැවසීය.

    මරණ දඩුවම ගැන මාධ්‍යවේදියෙකු කල විමසීමකදී එතුමා අවසන් වශයෙන් පැවසූයේ 1977න් පසු රටතුළ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ බවත්, ඔවුන් පක්ෂයක් විදියට මරණ දඩුවමට විරුද්ධ බවත් ය.

    Latest News