ජනපති - මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම ආපසු හැරවීමට උත්සහ නොදැරිය යුතුයි

ජූනි 28, 2019

    පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා අත්සන් කළ බවත් ඊට විරුද්ධව කථා කරන සියලූ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පැවති උත්සවයක දී ය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් යැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.  එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ (27) රාති‍්‍රයේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිතුමා පැවසියිය.

    “නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවේ. මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීමට ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. එම ගමනේ දී විවිධ බාධා එල්ල වූනා. සියලූදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටිනවා“ යැයි ජනාධිපතිතුමා කියා සිටියේය.

    පිබිදෙමු පෙළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 15කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.

    විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද, විදුහල්පති ආර්.ඞී. වීරසූරිය මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News