තාජුදීන් ඝාතනය දින අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන ගැන CID පරීක්ෂණ

ජූනි 27, 2019

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කීපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

    එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙහි දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව කියා සිටියේය.

    තුන්වන සැකකරු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට ද මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාගේ උපදෙස් මත සුමිත් චම්පික පෙරේරා නැමැති සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් දන්වා සිටියේ වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කිහිපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් දන්වා සිටියේය.

    මියගිය වසීම් තාජුඩීන්ගේ වාහනය අඳුනා ගැනීම සඳහා වූ ඩී.වී.ඩී පටය පිළිබඳව පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පරීක්ෂණවලට භාජනය වී තිබෙන දුරකථන සංවාද සහ ඇමතුම් පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින බවයි කියා සිටියේය.

    මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 31 වන දා වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 13:47

    Latest News