චීන–ශ්‍රී ලංකා වෘක්කවේද රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්‍ෂණයට (වීඩියෝ)

ජූනි 17, 2019

    චීන–ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්‍ෂණයට ලක් විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමි විය. මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සුපරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරුව ඉදි කෙරෙන චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා 2018 ජූලි 21 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.

    ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරික්‍ෂණාගාර සහ අධිතාක්‍ෂණික පහසුකම්වලින් සමන්විත රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි. අද පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර අදාළ ඉදිකිරීම් සමාගමේ නිලධාරින් සමග ද සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රගතිය විමසා බැලීය. රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් අතර ඉතිරි නිම කිරීම් කඩිනමින් සිදුවන බවත්, 2020 ජූලි 30 වන විට සියලු කටයුතු සාර්ථකව නිම කර රෝහල ජනතා අයිතියට පවරාදීමට හැකියාව තිබෙන බවත් එහිදී සඳහන් කෙරිණි.

    මේ අතර රෝහලේ ඉදිකිරීම් පසුගියදා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමකගේ ද අධීක්ෂණයට ලක් වූ අතර නිසි සැලැස්මට සහ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ ඉදිකිරීම් සිදු වන බවට චීන රජය ද සහතික කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ මෙම රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර වගුකඩු රෝගයෙන් පීඩා විඳින දිවයින පුරා අහිංසක ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසයි. පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 20:37

    Latest News