හිටපු මහ බැංකු ලොක්කාගේ බැඳුම්කර නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට

ජූනි 13, 2019

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු විසින් නීතිපතිට අනුමැතිය පිරිනමා තිබේ.

    බැංකු බැඳුම්කර සිද්ධිය හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව නීතිපති විසින් පසුගිය සිකුරාදා (06/07) අගවිනිසුරුවරයා වෙත යොමුකළ ලිඛිත ඉල්ලීමේ සඳහන් කර තිබිණ.

    රුපියල් බිලියන 10058 ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුව ඇතැයි නීතිපතිවරයා පෙන්වා දේ. ඒ මගින් රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇත. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23 ක් යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් නියමිත අතර එ අනුව ඔවුන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර දෙන ලෙස ද නීතිපතිවරයා විසින් අගවිනිසුරුගෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව නීතිපතිවරයා වෙත මෙම අවසරය ලැබී තිබේ.

    මෙම සිද්ධිය විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු දස දෙනෙකු නම් කර තිබේ.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියට අදාළව පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ මෙම අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නියමිත බවද නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත යොමුකළ ඉල්ලීමේ සඳහන් වේ.

     

     

    Latest News