බැඳුම්කර නඩුව ජුනි 07 කැඳවීමට නියෝග

මැයි 05, 2021

    2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.

    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවීමට නියමිතව තිබිණ.

    එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව මෙම නඩුව ජුනි මස 7 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරී විසින් පල කර ඇති නිවේදනයේ සදහන් කර තිබේ.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය නම් කර තිබේ.

    ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

    2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව රුපියල් මිලියන 688කට ආසන්න
    භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීමක් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Last modified on බදාදා, 05 මැයි 2021 12:43

    Latest News