අඩියක් පස්සට ගෙන ලංගම වර්ජනය අතහරී: වෘත්තිය සමිතියට ඇමතිගෙන් රතු නිවේදනයක්

ජූනි 13, 2019

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් දිවයින පුරා ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

    ඒ අනූව වර්ජනයේ කළ ඩිපෝ 106ක සියළුම සාමාජිකයින්ට වහාම සේවයට වාර්තා කරණ ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා ඉල්ලා සිටි. මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ජාවෙන් අනතුරුවයි.

    එම සාකච්ජාවට ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවක පිරිසක් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍යාංශයේ ලේකම්වරුන්, සභාපතිවරුන් හා ගමනාගමන මණ්ඩලයේ සභාපති හා විධායක නිලධාරීවරයා ද එක්ව සිටියේය.

    දියුණුවට ගමන් කරන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන ලෙසට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහි වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටියි. සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැපවන නමුත් මහජනතාවත් ආයතනයත් අපහසුතාවයට පත් කරන ක්‍රියාවන් කිසිසේත් අනුමත නොකරන බව අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය. අද (13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

    පසුගිය දින 52 ආණ්ඩු සමයේදී දේශපාලන මැදිහත්වීමෙන් අවිධිමත් උසස්වීම් රැසක් ලබා දී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාතයංශය පවසයි. මෙම අවධිමත් උසස්වීම් සියල්ල මේ වන විට අහෝසි කර ඇත. දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු බලයට පැමිණි වත්මන් ආණ්ඩුමේ මුල් දින කිහියේදී නැවත වරක් පන්දහසකට ආසන්න ප්‍රමාණයකට අවධිමත් උසස් වීම් ජාතික සේවක සංගමය මැදිහත් වීමෙන් ලබා දීමට කටයුතු කර තිබේ. එම අවිධිමත් උසස් වීම් අහෝසි කරන ලෙසට ඉල්ලමින් සෙසු වෘත්තිය සමිති අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුව තිබේ. වැඩ වර්ජනයේ නිරත උසස්වීම් තවදුරටත් තහවුරු කර ඊට අදාල වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික සේවක සංගමයේ සුළු සේවක කණ්ඩායම ඉල්ලා සිටි.

    දැනට අනුමත කර ඇති පටිපාටිය ප්‍රකාරව සුදුසුකම් ලැබූ අයට උසස් වීම් ලබා දීමේ විරෝධතාවක් නොමැති බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පසයි. සෑම ආණ්ඩුවක්ම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංගමය භාවිත කර ඇති බව මෙම සාකච්ඡාවේදි ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ. ලංගමයේ වර්තමාන පරිහානියට ප්‍රධාන හේතු වී ඇති බැවින් එවැන්නක් තවදුරටත් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.

    අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය 

    “පොසොන් සමයේ වැඩවර්ජනවලට යාම සුදුසු නැහැ. එය තනිකරම මහජනතාව අපහසුතාවට පත් කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක්. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට යොමුවී මහජනතාව අපහසුතාවයට පත් කරන සියලු දෙනාටම එරෙහිව විනයානුකූල පියවර ගන්නවා. අපි ලංගම දියුණු කරගෙන ඉදිරියට ගෙනි යනවා. නවීන සැපපහසු බස්රථ ගෙනෙනවා. එවැනි තත්ත්වයක් තුළදී මේ ලංගම ඇතුළට දේශපාලනය ගෙන්න එපා. අපි දැනටමත් මානව සම්පත් කළමනාකරණ සැලැස්ම අවසන් අදියරට ගෙනවිත් තියෙනවා. එයින් අපිට ලංගමයේ ඉන්න හැම කෙනකුටම සාධාරනයක් ඉටු කරන්න පුළුවන්. උසස්වීම් සුදුසුකම් මත දෙන්න පුළුවන්. එහෙම තිබියදී අනවශ්‍ය දේවල් කරලා ලංගම වට්ටන්න එපා. අමාත්‍යවරුන් දෙදෙනාට නොදන්වා වැඩවර්ජනයකට යාමෙන් මේ වෘත්තීය සමිති බරපතල වරදක් කරලා තියෙනවා. සේවකයින්ට සහන සැලසීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ පෙර ආණ්ඩුවල වැරදි තවදුරටත් වෙනවා නම් මට ඊට ඉඩ දෙන්න බැහැ....

    රංජිත් විජේසිරි - ලංගම (ප්‍රධාන කාර්යාලය) ජාතික සේවක සංගමයේ ලේකම්...

    "අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබුණ අපේ සාකච්ජාව අසාර්ථක වුණා..අපි මේක මෙතනින් නවතින්නෑ.. අපේ 5100ක නීත්‍යානුකූල පත්වීම් දුන්න සාමාජිකයින් ස්ථීර කර ගැනීමට තමයි අපි මේ සාකච්ජාව පැවැත්වුවේ..සියල්ලම ප්‍රතිව්‍යුහගත කරලා නැවත පත්වීම් දෙමුයි කියලා යෝජනා කළා..ඒකට අපි එකඟ නැහැ..ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පත්වීම් අවලංගු කරනවා..ඒ අවලංගු කිරීමට අපි ඉඩදෙන්න් නෑ.

    ප්‍රතිවිව්‍යුගත කිරීමේ දී අපේ සේවකයින් 5100ට නැවත පත්වීම් නොලැබෙන්නත් පුළුවන්. අපේ පක්ෂයත් එක්ක තමයි අපි ඉන්නේ. අපේ පාක්ෂිකයින්ගේ ස්ථීර පත්වීම් උසස්වීම් ටික ස්ථීර කරලා මූලික වැටුපත් එක්ක දෙනකම් අපි මේ ගමන යනවා..

    අද දවසේ ධාවනයෙන් නැවතිලා ඉන්න 106ක සියළුම ඩිපෝවල සාමාජිකයන්ට කියනවා නැවත සේවයේ යෙදෙන්න කියලා..වැඩවර්ජනය අවසන් කරන කියලා..පුරුදු පරිදි වැඩ ආරම්භ කරන්න කියලා..මොකද අපිට තව මාර්ග තියනවා අපිට දිනාගන්න..අපි නීතිය පැත්තෙන් ඇවිලා මේ සේවකයෝ 5100ට සාධාරණයක් ඉෂ්ට කරනවා.."

    ඔබතුමන්ලාගේ සාකච්ජාව සාර්ථක වුනෙත් නෑ..ඒත් අඩියක් පස්සට යනවා නේද?

    "මේක පස්සට යෑමක් නෙවෙයි..අපි නීතිය පැත්තට යනවා..මොකද අපිට නීත්‍යානුකූල පත්වීම්ක දීලා තියෙනවා..මානව සම්පත් කළමනාකාර තුමා ඒ නීත්‍යානුකුල පත්වීම් අත්සන් කරලා තියනවා..නීත්‍යානුකූලව වැටුපක් අරගෙන තියනවා.."

    අශෝක් අබේසිංහ මහතා - රාජ්‍ය අමාත්‍ය 

    අමාත්‍යවරුන් දැනුවත් නොකර මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම බරපතල වරදක් බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය . එවැන්නකට යොමු වීම මහජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවයට පත් කරන්නක් බවද රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බඳවා ගැනීමේ සහ උසස්වීම් පටිපාටිය දැනටමත් සියයට අනූවකින් අවසන් කර කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 18:13

    Latest News