පරිසරය වෙනුවෙන් තීන්දු ගන්නේ ඡන්දේ බලාගෙන නොවේ; ජනපති (වීඩියෝ)

ජූනි 08, 2019

    රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තිරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපතිතුමා පවසයි.

    පරිසරය වෙනුවෙන් වූ එම සියලූ තීන්දු තීරණ ගත්තේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. වඩු මඩු සහ ලී මෝල් සඳහා අලූතින් බලපත‍්‍ර නිකුත් කිරීම පිළිබඳව පරිසර අමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව බොහෝ දෙනා අවඥාවෙන් බැහැර කළ ද රටේ වන සම්පත සීග‍්‍රයෙන් අහිමිවී යාමත් සමග මිනිසා ප‍්‍රමුඛ සියලූ සතා සීපාවට ජීවත්වීම පිළිබඳ බරපතළ අභියෝගයකට තවත් වසර 15-20ක් ගත වන විට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් පරිසරය රැක ගැනීමට ගන්නා තීන්දු තීරණවල දී දේශපාලන මති මතාන්තරවලින් තොරව ගැටලූව දෙස අවංකව බලන්නැයි තමා සියලූදෙනාගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා පැවසීය.  

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් දැක්වූයේ අද (08) පෙරවරුවේ මුලතිව් ප‍්‍රාදේශීය සභා කි‍්‍රඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, මුලතිව් දිස්ති‍්‍රක් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වනාන්තරවලින් 95‍% ක් විනාශ කරන්නේ ජාවාරම්කරුවන් විසින් බව සොයාගෙන තිබෙන බවයි. ලී මෝල් සඳහා නිකුත් කර ඇති බලපත‍්‍රවලට මුවා වී මෙම ජාවාරම් සිදු කෙරෙන අතර, අධික ලෙස සිදුවන ගස් කැපීම් හේතුවෙන් ජල මුලාශ‍්‍රවලට සහ පරිසරයට විශාල හානියක් සිදුවෙමින් පවතින බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. එබැවින් ජීවිතය මෙන් වන සම්පත ද රැක ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කිසිඳු දේශපාලනඥයෙක් ඡන්ද ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ සිදු නොකළ යුතු බවයි. මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් අද බොහෝ දේශපාලනඥයන් විවිධ ප‍්‍රකාශ සිදු කරමින් සිටින අතර, ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ සැලසීම අපේ‍්‍රල් 21 වනදා බෝම්බ පුපුරවමින් ත‍්‍රස්තවාදීන් තැබූ අපේක්ෂා ඉටුකිරීමට සහය වීමක් බව ද කියා සිටියේය.

    එබැවින් රට වෙනුවෙන් එකට සිටිමින් සියලූ දෙනා රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජනාධිපති කාර්යාලය සහ රජය මඟින් කි‍්‍රයාවට නංවා ඇති සංවර්ධන සහ සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්‍ෂම කරමින් එහි කඩිනම් ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමයි.

    මෙතෙක් විසඳුම් නොලැබුණු ජනතාවගේ දීර්ඝකාලීන ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදීම ද වැඩසටහන හරහා සිදු කෙරේ. එහි සිව්වන අදියර පසුගිය 03 වනදා මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර, දිස්ති‍්‍රක්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ග‍්‍රාම සේවා වසම් 136 ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1178කට වැඩි ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක කෙරුණු අතර වැය කෙරුණු මුදල රුපියල් මිලියන 52.4 කට අධිකය. ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව තිස් දහස ඉක්මයි.
    අද පැවති එහි සමාප්ති අවස්ථාවේ දී දිස්ති‍්‍රක්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම, නව ප‍්‍රතිලාභින් සඳහා සමෘද්ධි ප‍්‍රතිලාභ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිනි.

    මේ අතර තුනුක්කායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු. මිලියන 37ක වියදමින් ඉදිකරන ලද වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. මුලතිව් දිස්ති‍්‍රක් ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
    අමාත්‍යවරුන් වන දයා ගමගේ, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පා.ම එම්.ඒ. සුමන්තිරන්, කාදර් මස්තාන්, එස්. සිවමෝහන් යන මහත්වරුන් ඇතුථ මුලතිව් දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් රූපවති කේදීෂ්වරන් යන මහත්ම මහත්මින් ද ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    මේ අතර මහවැලි එල්. කලාපයට අයත් වැලිඔය කිරිඉබ්බන්වැව ජලාශයේ බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම අද සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ජලාශය වෙත මත්ස්‍ය පැටවුන් දහදාහක් මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. මහවැලි එල් කලාපයේ කිරි ඉබ්බන්වැව කොට්ඨාසයේ ජනකපුර ඒකකයේ විදුලි වැට කි.මි 8ක් ඉදිකිරීම වෙනුවෙන් වූ රුපියල් ලක්ෂ 55 ක චෙක්පත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. 

    අක්කර අඩි 2440 ක් වූ කිරිඉබන්වැව ජලාශයෙන් කුඹුරු අක්කර 900ක් පමණ වගා කෙරෙන අතර පවුල් 520කට පමණ ඉන් සෙත සැලසේ. වැව ප‍්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 30 කින් පසුව වීම ද විශේෂත්වයක් වන අතර වැය කෙරුණු මුදල රුපියල් මිලියන 103 කි.

    "රට වෙනුවෙන් එකට සිටිමු" මෙම සිව් වන වැඩසටහනට සමගාමීව ස්මාර්ට් ශ්‍රී ලංකා කාර්යාල අද විවෘත කිරීම ද ජනාධිපති තුමා අතින් සිදු විය.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:28

    Latest News