ආගමික නායකයින් සමඟ සංහිඳියා මණ්ඩලයක්; අගමැති පවසයි (වීඩියෝ)

ජූනි 08, 2019

    සියලු ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ආගමික සංහිඳියා මණ්ඩලයක් ඇති කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආගම් හා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය. බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේ දී අද (08) පැවති සමෘද්ධිලාභීන් 4,500කට හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙරට පවුල් ලක්‍ෂ 06කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම සමෘද්ධි හිමිකම්පත්‍ර පිරිනැමිණ. “දිරියෙන් නැගිටිමු“ යන්න එහි තේමාවයි. මෙහිදී අඹ පැළ 5000ක් බෙදාදීම සිදු කෙරිණ.

    පසුගියා දා ත්‍රෛනිකායක මහා සංඝරත්නය නිකුත් කළ නිවේදනය තමන් සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව විවිධ ආගමිකයින් අතර පැණනැගී ඇති සැක සංකා දුරැලීම හා ආගමික සමගිය වෙනුවෙන් ජාතික ආගමික සංහිදියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
    මුස්ලිම් හා දෙමළ ජනතාව ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත් කිරීමෙන් කිසිඳු විසඳුමක් නොලැබෙන බව ත්‍රෛනිකායක මහා සංඝරත්නය පෙන්වා දී ඇති බවත් කුමන ආගමික මතයක් දැරුවත් ඒ සියලූ දෙනාට තම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.


    ශ්‍රී ලංකාව තුළ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර, අනෙක් සියලූ ආගම් ද එය පිළිගෙන ඇති බව වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ පදනම මත ආගමික සංහිදියා මණ්ඩලය මගින් ආගමික සමගිය ඇතිකරලීම හා ආගම් අතර ඇති වන ගැටඵ විසඳීම සඳහා කටයුතු කළ හැකි බව පෙන්වා දුන් අගමැතිවරයා ඊට අවශ්‍ය නීති රීති කඩිනමින් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය. 


    මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායක මහා නායකවරුන් ප්‍රධාන සියලූ ආගමික නායකයින් සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. දේශපාලනය පිළිබදව ජනතා විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ඒ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා අලූතින් සිතා බලා ක්‍රියා කිරීමට අවශ්‍ය බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමෘද්ධි අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:36

    Latest News