පූජිත්ට - හේමසිරිට එරෙහි පෙත්සම 06 කැඳවීමට නියෝගයක්

ජූනි 04, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු රජය ජනතාවගේ මූලික අයිතීන් කඩ කළ බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම ලබන 06 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින. මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව රජයේ බුද්ධි සේවා විසින් රජයේ බලධාරීන්ට කලින් තොරතුරු අනාවරණය කර තිබූ බව පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටි.

    තොරතුරු තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා තිබේ. හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරනමෙන් පෙත්සමෙන් ඉල්ලා ඇත.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද නම් කර තිබූ අතර උන්වහන්සේ වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙම කරුණට අදාළව ගොනු කර තිබූ තවත් පෙස්සම් කීපයක්ද ලබන 6 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

     

     

    Latest News