පා.ම. ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ විරෝධතා ප්‍රතික්ෂේපවේ

ජූනි 04, 2019

    පසුගිය රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 ක් රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීමේ නඩුවේ විත්තිකරුවන් වු හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළේය.

    ඒ අනුව නඩුව අගෝස්තු මස 09 වන දා විභාගයට ගන්නා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කෙරිණ.

    නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් විත්තියේ නීතිඥයින් විසින් මුලික විරෝධතා දක්වමින් ඉල්ලීම් කර තිබුණා. එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුව විභාගයට ගන්නා බව කියා සිටියේය.

    පසුගිය 2010 වසරේ සහ 2014 වසර දක්වා වූ කාල සීමාව තුළ සතොස ආයතනයේ රාජකාරි යේ නිරත සේවකයින් 153 දෙනෙකු නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නඩුව ගොනුකර තිබේ.

    Latest News