සහරාන්ගේ හා දියණියේ DNA සමානයි;රස පරීක්ෂක වාර්තා අධිකරණයට

ජූනි 04, 2019

    ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම් නැමැත්තා හා වසර 4ක් වයසැති ඔහුගේ දියණියගේ ඞී එන් ඒ සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වෙත වාර්තාවක් මගින් දැනුම් දී තිබේ.

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ ත්‍රස්ත නායකයාගේ ශරීර කොටස් හිසකෙස් ඇතුලු කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරිමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා මේ වාර්තාව අධිකරණය වෙත යොමු කර තිබේ.

    සහරාන් ගමන් කල බව කියන වාහන හත අපරාධමය සිද්ධීන් සඳහා යොමු වී නැති බවට සිදු කළ විමර්හන අනාවරණය කර ඇතැයි අධිකරනයට දැනුම් දුන් අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුව අපරාධමය ස්ථානයේ තිබූ හදුනානොගත් ශරීර කොටස් ජෛව විවිධත්වයන් හරහා හදුනාගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

    එමෙන්ම අපරාධමය ස්ථානයන් හි සිදු කළ පරීක්ෂාවන්හිදි අතුඅඩංගුවට ගත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ ඇතුලු වටිනා භාණ්ඩ මහ බැංකුවේ සේප්පුවක බහා තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එමෙන්ම සහරාන් නැමැති ත්‍රස්ත නායකයාගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැත්තිය රඳවා ප්‍රශ්න කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බඩල්කුඹුරේ තිබු කඩු තුනක්ද සහරාන් භාරයේ තිබි අත්අඩංගුවට ගත් භාණ්ඩ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.

    සිද්ධියට අදාළ නඩුව ලබන 6 වනදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 07:38

    Latest News