බෝම්බ කරුවන්ගේ දුරකතන අංක 1800 ගැන විමර්ශන (වීඩියෝ)

මැයි 30, 2019

    පාස්කු ඉරිදා මාරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදුකළ බෝම්බකරුවන් පාවිච්චි කළ දුරකතන අංක 1800 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරම්භ කර තිබේ.

    පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (30) කොළඹ පැවති, ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කර ඇත.

    බෝම්බ ප්‍රහාරකයින් භාවිතා කළ දුරකතන අංක ඇතුළු භාවිතා කරන ලද හා වෙනත් අංකයන් සමඟ සබඳතා පැවැත් වූ දුරකතන අංක සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    එසේම මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරනු ලබන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

    මේ වන විට බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සැකකාරියන් 7 ක් ඇතුළු සැකකරුවන් 66 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ හා සැකකාරියන් 2ක් ඇතුළු සැකකරුවන් 21 ක් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ ද රඳවා ගෙන විමර්ශනය කරන බව ද රුවන් ගුණසේකර මහතා මෙහිදී පවසා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:19

    Latest News