මෝදි යළිත්, අගමැති ලෙස ලබන 30 දිවුරුම් දෙයි

මැයි 25, 2019

    ලෝක් සභා මැතිවරණය විශිෂ්ට ලෙස ජයගත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් ලබන 30 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    වසර 30ක ඉතිහාසය තුළ විශිෂ්ඨතම මැතිවරණ ජයග්‍රහණය 2014 වසරේ දී ලබාගත් ඔහු මෙවර ජයග්‍රහණය කළේ, එම තත්වය තවදුරටත් ඉක්මවා යමින්. ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිල ප්‍රතිඵලයට අනුව මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ආසන 303ක් දිනා සිටී.

    එය පසුගිය වතාවට සාපේක්‍ෂව ආසන 21ක වැඩිවීමක්. ඒ අනුව ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයට ආසන 545කින් සමන්විත ලෝක් සභාවේ හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 353ක්. රාහුල් ගාන්ධි නායකත්වය දුන් එක්සත් ප්‍රගතිශීලි සන්ධානයට හිමිව ඇත්තේ, ආසන 92ක් පමණි.

    නරේන්ද්‍ර මෝදි තරග කළ වාරානසී ආසනය ඔහු මෙවර ජය ගත්තේ වැඩි ඡන්ද හාර ලක්‍ෂ හැත්තෑ පන්දහස් හත්සිය පනස් හතරක් ලබා ගනිමින්. පසුගිය මැතිවරණයේ එම ප්‍රමාණය වූයේ ලක්‍ෂ 3කට ආසන්නයි. 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම වෙනුවෙන් නරේන්ද්‍ර මෝදි ඊයේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

    ලබන 30 වැනිදා පැවැත්වෙන දැවැන්ත දිවුරුම් දීමේ උත්සවයට ඩොනල්ඩ් ට්‍රම්ප්, සී-ජී-පින්, ව්ලැදිමිර් පුටිං, වැනි ලෝක නායකයින් සහ සාක් කලාපීය නායකයින්ට ආරාධනා කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

    Latest News