ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබපැතුම් ….

මැයි 24, 2019

    ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

    ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ මෙම ඓතිහාසික ජයග‍්‍රහණය නරේන්ද්‍ර මෝදි මහතා ගෙන ගිය ප‍්‍රතිපත්ති පිළිබඳ ඉන්දීය ජනතාව තැබු විශ්වාසය නැවත තහවුරු කිරීමක් බවයි.

    එමෙන්ම මෙම ජයග‍්‍රහණය එතුමා නායකත්වය ලබාදෙන දේශපාලන පක්ෂය සහ එහි පාර්ශ්වකාර දේශපාලන පක්ෂ වෙත ඉන්දියාවේ අනාගතය තීරණය කිරීම සඳහා එරට ජනතාව ලබාදුන් තවත් වැදගත් අවස්ථාවක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

    ජනාධිපතිතුමා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පසුගිය පාලන කාලය තුළ දී ඉන්දියාව ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණ තුළ වැදගත් සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ රැසක් සිදු වු බවයි.

    අසල්වාසී සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින්නේ නොබිඳෙන සබඳතාවයකි. නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉතා සමීපව කටයුතු කරන අයෙකු ලෙස එතුමාගේ ඉදිරි පාලන සමය තුළදී ද ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

    ලෝකයේ බලවත් ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව කලාපීය සමෘද්ධිය උදාකර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ද ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමඟ වඩා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Latest News