ජාතික තව්හිද් ජමාද් සාමාජිකයින්ගේ බැංකු ගිණුම් 41ක් තහනම්

මැයි 24, 2019

    ජාතික තව්හිද් ජමාද් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්ට අයත් බැංකු ගිණුම් 41ක් තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    එම ගිණුම්වල තිබී රුපියල් කෝටි දහතුන හමාරක මුදලක් සොයා ගෙන තිබේ. ඊට අමතරව, තවත් රුපියල් මිලියන 14ක මුදලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇත. ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා....

    “ඒ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134ක මුදලක් තියෙන බව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. තවත් රු. මිලියන 14ක පමණ මුදලක් මේ වනවිට සොයා ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ලබාගෙන තිබෙනවා.

    බදුරලිය පොලිස් වසමේ දික්හේන ප්‍රදේශයේ දී පාසලක් අසල දමාගොස් තිබුණු අත්බෝම්බ කිහිපයක් ඊයේ රාත්‍රී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සමාජය තුළ අනියත බියක් ඇති කිරීමට මේ පාසල අසලට අත්බෝම්බ කිහිපය ගෙනා දමා ඇති බව ඉතාම පැහැදිළි වෙනවා. මේ වනවිට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. මේ නින්දිත ක්‍රියාව සිදුකරපු මේ පුද්ගලයා පිළිබඳව ඒ ප්‍ර දේශවාසීන්ගෙන්ම මේ වනවිට අපිට තොරතුරු ලැබෙමින් පවතිනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ දී සඳහන් කරන්න අවශ්‍යයි.

    ඒ වගේම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ක්‍රියාවලට බිය වෙන්න එපා කියලා“ යැයි පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    තව්හිද් ජමාද් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් පස් දෙනෙකු හොරොව්පොතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, හොරොව්පොතාන පොලිසිය මගින්. ඔවුන් අතර සහරාන් හෂීම් සමඟ දේශන පැවැත්වූ පුද්ගලයෙකු ද වේ. ඔහු හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙක්.

    මේ අතර, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී සැකකරුවන් 23 දෙනෙකු නිට්ටඹුව පොලිසියට බාරදී තිබේ. අත්තනගලු ඔය විශේෂ සෝදිසි කිරීමකට ලක් විය. ඒ යුද හමුදා කිමිදුම් බලකාය මගින්.

    මේ අතර, කුලියාපිටිය ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලබලකාරී තත්වය සම්බන්ධ 11 දෙනෙකු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරිණ. ඒ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී. ඔවුන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඉස්ලාම් අන්තවාදීන්ට විරෝධය පළ කරමින් සාමකාමී පාගමනක් ද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දී පැවැත්විණ. පෙරියමුල්ල ජුම්මා මස්ජිද් පල්ලියේ සිට යුෂිපියා මුස්ලිම් පල්ලිය වෙත ඔවුන් පා ගමනනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේ දී අත්අඩංගුවට පත්ව තිබේ. අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොම්මදු නමැති 39 හැවිරිදි එම තානැත්තා, මියන්මාර පොලිසිය විසින් රඳවාගෙන ඇත්තේ, එරට ආගමන කාර්යාලයට පැමිණි අවස්ථාවේදී. ඔහුගේ සබඳතා හා ක්‍රියාකාරකම් පිළිබඳව පුළුල් පරීක්‍ෂණ පැවැත්වෙන බව, මියන්මාරයේ ඉරවඩි ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහස් කර තිබේ.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 20:12

    Latest News