ඇමති මංගල පොරොන්දු ඉටුකරයි;ත්‍රිවිධ හමුදා සියලු දීමනා ඉහළට

මැයි 23, 2019

    ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කෙරේ.

    ත්‍රිවිධ හමුදාවේ බොහෝ දීමනා පසුගිය වසර 20 තුළ කිසිදු අන්දමකින් වැඩිවී නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

    ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන්ගේ දීමනා වැඩිකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවේදී පොරොන්දු විය.

    ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර ඇත. මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛණය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව වැඩිකිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේ හිමිවු බව මුදල් අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

    මේ අතර ත්‍රිවිධ හමුදාවට පිරිනමන දීමනා 2019 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබේ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණකින් වැඩි කර ඇත. ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩිකරනු ලැබේ.

    මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 13:52

    Latest News