ඇප ලැබූ තඹ කම්හලේ සේවකයන්ට නොතීසි

මැයි 22, 2019

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට මේ මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළේය.

    වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.

    පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ සේවකයින් දස දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.

    ඉන් සැකකරුවන් නව දෙනකු ඉකුත් 6 වනදා අධිකරණය මගින් ඇප මත මුදා හළ අතර එක් සැකකරුවකුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇප මත නිදහස් වීමට නොහැකි විය.

    ඒ අනුව සැකකරුවන් 8 දෙනෙකු ඇප මත නිදහස්ව ගිය අතර ඔවුන්ට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කර තිබේ.

    Last modified on බදාදා, 22 මැයි 2019 14:45

    Latest News