අයි.එස්. ත්‍රස්තවාදීන්ට ආදායම් අහිමිවේ..... ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමට (වීඩියෝ)

මැයි 20, 2019

    අයි.එස්. ත්‍රස්තවාදී කල්ලියට ඉරාකයේ හා සිරියාවේ කළ විවිධ ජාවාරම්වලින් ආදායම අහිමි වූ පසු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිසී ඇතැයි, ජාත්‍යන්තර ආරක්‍ෂක වාර්තා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව මෑත කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමට ගත් ක්‍රියාමාර්ග ද අයි.එස්. කල්ලියේ උදහසට හේතුවීද යන්න විවිධ ක්‍ෂේත්‍රවල අවධානයට ලක්වූ කරුණක්. අයි.එස්. කල්ලිය 2014 වසරේ ඉරාකය හා සිරියාව පදනම් කර ගනිමින් කලීෆා නමින් රාජ්‍යයක් බිහි කළේය. ඉන් පසු ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ නීති විරෝධි තෙල් වෙළෙඳාම හා මිනිස් ජාවාරමයි. එහෙත්, දැන් එම ආදායම් මාර්ග අහිමිවී ඇත්තේ, ඔවුනට භූමිය අහිමිවීමත් සමඟයි. මේ හේතුවෙන් අයි.එස්. කල්ලිය මත්ද්‍රව්‍ය ජාවාරම කරා යොමු වී ඇති බව ආරක්‍ෂක වාර්තා පෙන්වා දෙයි.

    ගෝලීය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධ කල්ලි අතර සම්බන්ධීකරණය සඳහා සහය වීම අයි.එස්. කල්ලියේ මූලික මෙහෙයුම් අතර වේ. අමෙරිකානු මහද්වීපය හා ආසියාව අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය ලිබියාව බවට පත්කර ගැනීමට අයි.එස්. කල්ලිය හා ඊට අනුබද්ධ කල්ලි පියවර ගෙන තිබෙන බව ෆෝර්චූන් සඟරාවේ පළවූ ලිපියක දැක්වේ.

    ඊට අමතරව ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරගත් හෙරොයින් නිෂ්පාදනයේ මූලික මෙහෙයුම්කරුවන් වන්නේ අයි.එස්. හා තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයයි. දකුණු ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වළක්වාලීම සඳහා රජය මෑත යුගයේ විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාව වසර 2020 වනවිට මත්ද්‍රව්‍යවලින් තොර රාජ්‍යයක් බවට පත් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ මූලික ඉලක්කයයි.

    ගතවූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාව හරහා ජාවාරම් කරනු ලැබූ කොකේන් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ටොන් ගණනින් අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම එම මත්ද්‍රව්‍ය තොග විධිමත් ලෙස විනාශ කිරීමද සිදුවිය. මෙවැනි ක්‍රියාකාරකම් අන්තර් ජාතික ත්‍රස්තවාදී කල්ලිවල උදහසට හේතුවී ඇති බව විද්වතුන් පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 22:21

    Latest News