උතුරේ මහ ඇමතිගේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

නොවැ 08, 2018

    උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය පී.ඩෙනිෂ්වරන්ගේ නිල රාජකාරි කටයුතුවලට බාධා නොකරන ලෙසට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයක් අහෝසි කරන මෙන් ඉල්ලා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනාය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

    ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝගය ලබා දුන්නේය.

    2017 වසරේ අගෝස්තු මස උතුරු පළාතේ ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා ඉවත් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් නිකුත් කළ ලිපියකට එරෙහිව ඩෙනිශ්වරන් මහතා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරනු ලැබිණ.

    එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය උතුරු පළාත් අමාත්‍ය ඩෙනීෂ්වරන් මහතාගේ නිල රාජකාරි කටයුතුවලට බාධා නොකරන මෙන් දන්වා අතුරු නියෝගයක් නිකුත් කලේය. මෙම අතුරු නියෝගය අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විග්නේෂ්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් පසුව ඉදිරිපත් කෙරිණ.

    එම අභියාචනය පිළිබඳ දීර්ඝ විභාගයක් සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය නිෂ්ප්‍රභ කරන බවයි කියා සිටියේය.

     

    Latest News