ගාමිණි සෙනරත්ගේ මුලික විරෝධතා නියෝගය 12 වැනිදා

නොවැ 07, 2018

    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධි චෝදනා පත්‍රය විභාගයට නොගෙන ප්‍රතික්‍ෂේප කරන ලෙස විත්තිය ගොනු කරන ලද මූලික විරෝධතා පිලිබඳ නියෝගය ලබන 12 වැනිදා ප්‍රකාශ කරන බව, කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අද දැනුම් දුන්නේය.

    ඔවුන් චෝදනා ලැබ සිටින්නේ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි. සිය මූලික විරෝධතාව ඉදිරිපත් කළ විත්තිකාර ගාමිණි සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 11 වැනි වගන්තිය යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් ස්ථානයක් ලෙස අර්ථකතනය කළ නොහැකි බව කියා සිටියේය.

    අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමේ බලය පැවරී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යවරයාට පමණක් බව ද ඔහු සඳහන් කළේය. එහෙත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කරනු ලබන්නේ, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පොලිස්පතිවරයා විසිනි. පොලිස්පතිවරයාට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමට නීතියෙන් බලයක් නොමැති බව ද ප්‍රකාශ කෙරිණ.

    ඒ අනුව, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙන්වා දුන්නේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධි ආයතනයක් බවයි. දූෂණ විමර්ශන කාර්යාලයේ දේශපාලනඥයින් සිටීම ද ගැටලුවක් බව ඔහු සඳහන් කළේය. අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ආයතනයක් ද නැද්ද යන්න පරීක්‍ෂා කිරීමට මෙම අධිකරණයට හැකියාවක් තිබේ ද යන්න ප්‍රශ්න සහගත බවයි.

    ජනාධිපතිතුමා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන 21 තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මේ වනවිට සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතන සැලසුම පිළිබඳ කරුණු අනාවරණය වී ඇති අතර, ජනාධිපතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන සැලසුම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙමින් පවතින බවයි.

     

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 19:28

    Latest News