ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක්

නොවැ 07, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දිර්ඝ ව සාකච්ජා කෙරුණු අතර, ජනාධිපතිතුමා පසුගිය දින කිහිපය තුළ ගත් ඇතැම් තීරණවලට හේතු වූ කරුණු හා එයින් රටට හා ජනතාවට සිදුවන යහපත පිළිබඳව පෙන්වා දී ඇත.

    දෙමළ ජාතික සන්ධානය විසින් තම දේශපාලන ස්ථාවරය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ දිර්ඝව සාකච්ජා කරන ලදී.

    ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට බලපා ඇති ගැටලූ මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර, එම ගැටලූ විසඳීමට තම කඩිනම් අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා දෙමළ ජාතික සන්ධාන නියෝජීතයන්ට පැවසීය.
    උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධන බලකායේ කටයුතු වඩා කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. එම සංවර්ධන වැඩපිළිවෙළේ දී හා ජනතා ගැටලූ විසඳීමේ දී දෙපාර්ශ්වයම මනා සහයෝගයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණ.

    රටේ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය සමනය කරගැනීමට සියලූ පක්ෂවල එකඟතාවෙන් ඉදිරියේ දී ජනාධිපතිතුමා ගන්නා ක්‍රියා මාර්ගවලට දෙමළ ජාතික සන්ධානයේ ද පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප‍්‍රකාශ විය.

    මෙම සාකච්ජාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සෙල්වම් අඩෙකලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සහභාගි වූහ.

     

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 12:21

    Latest News