අන්තවාදය, ජාතිවාදය පරාජය කිරීමට ග්‍රාමීය ජනතාව දැනුවත් කරනවා;විජිත හේරත්

මැයි 09, 2019

    අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමට ග්‍රාමීය මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට ක්‍රියාත්මක කරන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, විජිත හේරත් මහතා කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ පිළිබඳව සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ අදහස් පළ කළේය. “ ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ වැඩිච්ච ආර්ථිකය යථා තත්වයට පත් කරන්න වහාම කඩිනම් යෝජනා ඉදිරිපත් කරලා මැදිහත් වෙන්න ඕනේ. ජන ජිවිතය අඩාල වීම සාමාන්‍ය ජන ජිවිතය ඇති කරන්න වහාම ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලා.

    විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියුක්ත විවිධ ක්‍ෂෙත්‍රවල අයට වහාම ආණ්ඩුව මගින් ආර්ථික සහන පැකේජයක් දෙන්න. ඒ අයගේ ජන ජිවිතය ජීවත් කරවීම සඳහා මැදිහත්වීමක් කරන්න. මේ ඇතිවෙච්ච සිදුවීම දේශපාලන බංකොලොත් වෙච්ච කණ්ඩායම් තමන්ගේ ජාතිවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න නම් කවර හෝ ජාතිවාදි අන්තවාදී නැගිටීමකට ඉඩ තැබිය යුතු නැහැ. ගම් මට්ටමේ ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාවලියක් අපි ක්‍රියාත්මක කරමු. හෙට සිට දිස්ත්‍රික් මට්ටමේ සාමාජිකයන් දැනුවත් කිරීමේ මෙහෙයුමක් අපි ආරම්භ කරනවා.

    ඒ සාමාජිකත්ව බලඇණිය අන්තවාදය පැරැද්දවීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් විධියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.“ යැයි මාධ්‍ය හමුව අමතමින් විජිත හේරත් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 19:41

    Latest News