පිපිරීම් සිදුවූ දෙමටගොඩ නිවසේ මුදල් සහ මැණික්... රාජසන්තක කිරීමට පියවර

මැයි 06, 2019

    දෙමටගොඩ මහවිල පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබු මුදල් හා වටිනා මැණික් ගල් ඇතුළු දේපල රාජසන්තක කිරීමට පියවර ගන්නා බව CID ය අධිකරණයට දැනුම් දෙයි.

    දෙමටගොඩ මහවිල උද්‍යානනයේ පිහිටි, ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කළ, නිවසේ තිබූ රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයක් පමණ වටිනා දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අද(06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දී ඇත.

    දෙමටගොඩ මහවිල උද්‍යානනයේ පදිංචිව සිටි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් දෙදෙනාගේ පියා වන මෙරට ප්‍රධාන කුලුබඩු අපනයන කරුවකු වන ඊබ්‍රහිම් මොහොමඩ් නැමැත්තා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

    එම නිවසේ තිබී අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ සහ මැණික් බවට අනුමාන කරන පාෂාණවල වටිනාකම පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා මෙහිදි අවසර ලබා දී ඇත.

    එම භාණ්ඩ මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දේපලවල සාමාන්‍ය වටිනාකම තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවට මහේස්ත්‍රාත් වරයා දැනුම් දුන්නේය.

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

    Latest News