ගෝඨාභයගෙන් පෙත්සමක්... එයට නීතිපතිගේ මූලික විරෝධතා... නියෝගය මැයි 17

මැයි 06, 2019

    ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමකට නීතිපතිවරයා මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි මස 17 වනදා ප්‍රකාශයට පත් කෙරේ.

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් නීතිපති වරයා මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කර ඇත.

    අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර තිබේ.

    එතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවතන ඩී . ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාල නඩුව විභාගයට නොගෙන සිටීමට ද නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

    විශේෂ මහාධිකරණ නියෝගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉකුත්දා මූලික විරෝධතාවක් මතු කළේය.

    එම මූලික විරෝධතාවලට අදාලව ලිඛිත දේශන ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දැනුම් දී ඇත.

    ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මේ මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නියම කළේය.

    පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ මැදමුලන ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    එම නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

    එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

    එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබේ.

    මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක් විභාග කරන විනිසුරු මඩුල්ල නම් කිරිම සඳහා එය ලබන 13 වන දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවේ කැඳවන මෙන් ද මෙම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියම කර තිබේ.

    Latest News