ISIS ත්‍රස්තවාදය නැති කර දමනවා....මෙවැනි සංවිධාන ඇත්නම් පිළිතුරු දෙනවා... අගමැති

මැයි 03, 2019

    අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස ඔහු ජනතාවගේ ඉල්ලා සිටියේ අද (03) මඩකලපුවේ සංචාරයකට එක්වෙමිනි. අන්තවාදීන් කිහිපදෙනෙක් එකතුව පසුගිය 21 වෙනිදා ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරිමින් ඛේදවාචකය සිදුකර ඇති බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය. පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණ චාරිකාවට අද (03) දින පෙරවරුවේ එක්විය.

    ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශයට පත් සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කළ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර දෙන බව ප්‍රකාශ කලේය. ඒ පිළිබඳව එහි පූජකතුමන්ලා සමඟ සාකච්ඡා කරමින් ඉදිරි පියවර පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නු ලැබිණ. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සහ තුවාල ලැබුවන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    එහිදී අදහස් දැක්වු අග්‍රමාත්‍යවරයා‍‍‍‍‍ "පළමුවෙන්ම අපේ රජය වෙනුවෙන් මම ඔබ සියළු දෙනාටම කණගාටුව ප්‍රකාශ කරනවා. ජීවිත නැති වූ අපේ සහෝදර ජනතාවගේ පවුල්වල තිබෙන කණගාටුව, වේදනාව, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකියි. මෙය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. නමුත් අප එම තත්වයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.මෙම සිදුවීම මට කොළඹදී දැනගන්නට ලැබුණු විට වහාම මඩකලපුවේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. නැතිවූ ජීවිත අපට නැවතත් ලබාගත නොහැකියි. එම නිසා ඇත්ත වශයෙන්ම මම නැවත නැවතත් ඒ වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.

    ඛේදවාචකයට ගොදුරු වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කරනවා. නැවතත් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අද හින්දු සහ ඉස්ලාම් දේවස්ථානවල යාඥා පවත්වනවා. ඉදිරියේදී කතෝලික පල්ලිවලත් යාඥා කටයුතු ආරම්භ කරනවා. ඒවගේම සඳුදා දිනය වන විට රජයේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයට රටේ තත්වය පාලනය කරමින් ඉදිරියට යන අතර ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අවශ්‍ය සියලූම පියවර අපි ගනිමින් සිටින බවත් පැවසිය යුතුයි.

    මේ සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ දෙනෙක් දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැමුන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මෙම සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහාය ලබාදීමට විදේශ සංවිධාන පවා අපට උදව් කරනවා. එමෙන්ම නවීනතම පරීක්ෂණ උපකරණ සහ ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිත කරනවා.

    මෙම කණ්ඩායමට අමතරව රට තුල තවත් රහසිගත කණ්ඩායම් තිබේද යන්න පිළිබඳවත් අප සොයා බලනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය අපේ රටින් තුරන් කිරීමට කටයුතු කරන බව මම මේ අවස්ථාවේ ඔබ සියලූ දෙනාට ප්‍රකාශ කරනවා. ඔවුන් පිළිබඳව සාමාන්‍ය ජනතාව වන ඔබ සතුවත් යම් තොරතුරු තිබෙනවා නම් ආරක්ෂක අංශ වෙත ලබාදෙන්න.

    රටේ උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක සිට යුද්ධයක් ඇතිව තිබුණා. යුද්ධයෙන් පසුව අපි සාමයෙන් ජීවත් වුණා. මෙම සිද්ධියෙන් පසුව වුවත් අප සාමයෙන් කටයුතු කළ යුතුයි. මෙම ඛේදවාචකය සිදු කළේ අන්තවාදීන් කිහිප දෙනෙකු විසින්. එම නිසා අනෙක් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනාම එකට එකතු වී එම අභියෝගය ජය ගත යුතු යැයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙම සිදුවීමේදී ඉවසීමෙන් කටයුතු කළ සියලුම පූජකතුමන්ලාටත්, ඒවගේම වෛද්‍යවරුන්, අනෙක් කාර්ය මණ්ඩල, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනාටම මම අවසාන වශයෙන් ස්තුති වන්ත වෙනවා" යැයි ඔහු කියා සිටියේය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රින්ස් පියතුමා සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රධාන පූජක රොෂාන් මහේෂන් ඇතුළු පියතුමන්ලා සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වුයේය

    Latest News