සෝදිසි මෙහෙයුම් පියවරෙන් පියවර ඉදිරියට....අන්තවාදින් අත්අඩංගුවට

මැයි 03, 2019

    පසුගිය පැය 48 තුළ දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000ක පිරිසක් යෙදවූ බව, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

    මේ අතර, පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20ක් උතුරු ප්‍රදේශයට ගමන් කළ බවට වන වාර්තා සම්බන්ධයෙන් එකඟ නොවන බව ඔහු කියා සිටියේය. තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ මුදල් බාරකරුවෙකු ලෙස ක්‍රියා කළ තැනැත්තෙකු ගම්පොළදී අද අත්අඩංගුවට ගැණින. ඔහු ගම්පොළ නගරයේ නිවසක කුලී පදනමින් සිටි බව, පොලිසිය පවසයි. සැකකරුගේ බාරයේ තිබූ රුපියල් කෝටියක පමණ ගනුදෙනු සටහන්, විවිධ අන්තවාදී ක්‍රියාකාරකම් හා දර්ශන සහිත ලැප්ටොප් පරිගණකයක් සොයා ගැණින. එමෙන්ම, ඔහු විසින් ලබාගෙන තිබූ හැඳුනුම්පත් දෙකක් සහ හමුදා සංග්‍රාමික ඇඳුමෙන් ලබාගත් ජායාරූප ද හමුවූ බව පොලිසිය පවසයි.

    හලාවත, මාදම්පේ පොලිසිය යුද හමුදාව සමඟ එක්ව සිදුකරන ලද සෝදිසියකදී විනාශ කරන ලද සංයුක්ත තැටි තොගයක්, කඩුවක් සහ රුපියල් විසි ලක්‍ෂයක පමණ මුදලක් සොයා ගෙන තිබේ. සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අප්‍රේල් මාසයේ දී ගිණුමකට බැරවී ඇති රුපියල් විසි ලක්‍ෂයක මුදල කෙසේ ලැබුණේ දැයි යන්න ප්‍රකාශ කිරීමට සැකකරු අපොහොසත් වී තිබේ. එම බැංකු ගිණුම් හිමි තැනැත්තා එක්තරා ආගමික සංවිධානයක් මගින් පවත්වාගෙන යන මාධ්‍ය ආයතනයකට සම්බන්ධ අයෙකු බවයි, හෙළි වී ඇත්තේ. දෙමටගොඩ ප්‍රදේශයේ නැවතී සිටි ඔහු පාස්තු ඉරිදා ප්‍රහාරයෙන් පසු යළි මාදම්පේ, මහ බද්දේගම ප්‍රදේශයට පැමිණ තිබේ.

    වැලිමඩ, ඩයරබා තේවත්තේ තේ පඳුරක් අසළ සඟවා තිබූ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල දෙකක් සහ ඊට යොදන ජීව උණ්ඩ 49ක් අද උදේ සොයා ගැණින. මේ දිනවල ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම අවි සඟවා සිටි කිසියම් පුද්ගලයෙකු මේවා ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය පවසයි.
    වවුනියාව නගර සභාව ආසන්නයේ වාහන නැවතුම්පොළක තිබූ සැකකටයුතු පාර්සලයක් වවනියාව පොලිසිය මගින් සොයා ගැණින. එය පරීක්‍ෂා කිරීමේදී සී.ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හා වයර් මීටර 38ක ප්‍රමාණයක් හමුවී තිබේ.

    ගාල්ල-කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ සවස කළ සෝදිසියක දී නිවසක් තුළ තිබී ඊයම් බෝල 669ක් හා යතුරු පැදි අංක තහඩු දෙකක් සොයා ගෙන තිබේ. එක් අංක තහඩුවකට අයත් යතුරු පැදියක් විකුණා ඇති අතර, නිවසේ සිටි තරුණයෙකු ගාල්ල පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙම් අංක තහඩුව යතුරු පැදි කිහිපයක සවිකර භාවිතා කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

    රාජ්‍ය බුද්ධි අංශයට ලද තොරතුරක් මත යුද හමුදාව කුරුණෑගල, මල්කඩුවාව, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් ඊයේ පරීක්‍ෂාවට ලක් විය. එහි තිබී අධිබල සන්නිවේදන උපකරණ කට්ටලයක්, බඳපටි දෙකක්, අරාබි භාෂාවෙන් සැකසුණු සීඩී තැටි හා දුර ප්‍රමාණය සකස් කර ගැනීමේ හැකියාව ඇති ඇන්ටනා පද්ධතියක් සොයා ගෙන තිබේ.

    වැලිමඩ පොලිසිය හා යුද හමුදාව එක්ව මැලිමඩ නගරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් ජාතික සැකකරුවන් තිදෙනෙකු සහ තවත් සැක කටයුතු භාණ්ඩ රැසක් සොයා ගනු ලැබීය. එක් සැකකරුවෙකු වූ රොනී මහරුෆ් නමැත්තා දේශපාලන පක්‍ෂ කිහිපයකින් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙකු බව වාර්තාවේ. ඔහුගේ නිවස තුළ තිබී හිස් පතුරම් කොපු 30ක් අත් විලංගුවක්, වෙස් මුහුණු ආලේපන රැසක්, ගුවන් හමුදාව කැලෑ සටන්වලදී යොදා ගන්නා කමිසයක්, හැඳුනුම්පත් 6ක් සහ රියදුරු බලපත්‍රයක් ආරක්‍ෂක අංශ බාරයට ගෙන තිබේ.

    තව්හිද් ජමාද් සංවිධානයේ බවට සැක කෙරෙන දෙදෙනෙකු අනුරාධපුර, නීරාවිය, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව වසර 06ක පමණ කාලයක් පුරා එහි පවත්වාගෙන ගිය සිද්ධික් කොලේජ් නමැති ආයතනය යුද හමුදාව අද පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ රුපියල් පන් ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක් හා සීඩි තැටි 05ක් ද ආරක්‍ෂක අංශ බාරයට ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 20:32

    Latest News