ත්‍රස්තවාදයට අමුත්තෝ නොවෙයි.......ප්‍රහාරයට සම්බන්ධ පිරිස් හමුදාවෙන‍් නීතියට යටතට

මැයි 01, 2019

    පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටේ විශාල කැළැඹිමක් ඇති වුවත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරලීම සඳහා සියලූ පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් ආරක්‍ෂක හමුදාවන් නීතියට යටත් කර තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙවැනි ක්‍රියා නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බවත්, ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එක්ව බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (01) පස්වරුවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමකදීය. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන මහත්වරු ද, පොලිස් හා ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් සහභාගි වූහ.

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ විශාල කැලඹිමක් ඇති වුණා. දැන් අප ජන ජීවිතය යථා තත්වයට පත් කළ යුතුයි. දැන් අපි සාමාන්‍ය ජන ජීවිතයට යා යුතුයි. එසේ නොවුණහොත් එය ත්‍රස්තවාදයට යටත් වීමක් වෙනවා. මේ නිසා ලබන සිකුරාදා මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු ආරම්භ කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම ඉරිදා දිනයේ ක්‍රිස්තියානි දේවස්ථානවල පූජා පවත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

    අපි ත්‍රස්තවාදයට අමුත්තෝ නොවෙයි. ත්‍රස්තවාදය විවිධ මුහුණුවරවල් අරගන්නවා. දැන් දේශීය ත්‍රස්තවාදය වෙනුවට ජාත්‍යන්තර අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයට මුහුණ දී සිටිනවා. මෙය මෙතෙක් පැවැති ත්‍රස්තවාදයට වඩා වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බව කිව යුතුයි. අපේ බුද්ධි සේවාවල දස දහසකට අධික සාමාජිකයන් පිරිසක් සිටිනවා. මෙමගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන ත්‍රස්ත ක්‍රියාවන් සොයාගත හැකියි. නමුත් ජාත්‍යන්තරයේ සිදුවන ක්‍රියාවන් පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ ඔස්සේ සොයාගත යුතු වනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව සොයා ගැනීමට දැන් තිබෙන තත්ත්වයට වඩා වැඩි තාක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. අයිඑස්අයිඑස් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සෑම රටක්ම එකතු වී වැඩ කටයුතු කළ යුතුයි” යැයි ඔහු කියා සිටියේය.

     

     

     

     

     

    Latest News