මරණ පරික්ෂණ අවසන් අදියරේ..... පිරිසක් ප්‍රතිකාර ලබා පිටව යයි

අප්‍රේ 22, 2019

    බෝම්බ පිපිරීම් වලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට මළ සිරුරු 102 ක් ලැබී තිබූ බවයි. ඊයේ පස්වරුවේ සිට මේ දක්වා මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු, අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් 06 ක් යටතේ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර ඇත. මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට ලැබී තිබූ මළසිරුරු 102 න් පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන ලද මළ සිරුරු 92 ක් ඥාතීන්ට බාර දී තිබේ. තවත් මළසිරුරු 10 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මළ සිරුරු තැම්පත් කර තැබීම සදහා ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැති වූවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ජංගම ශීතාගාර දෙකක් මීගමුව දිස්ත්‍රීක් මහ රෝහල වෙත ඊයේ පස්වරුව වන විට ලබා දී තිබුනි.

    කොළඹ ජාතික රෝහලලේ මළ සිරුරු 140 ක් ඇති අතර, මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ මළ සිරුරු සංඛ්‍යාව 89 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මළ සිරුරු 35 ක් හදුනා ගැනීම සදහා මෙතෙක් කිසිවෙකු නොපැණීම ගැටලුවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. කොළඹ උතුර ශික්ෂණ රෝහලේ ද මළ සිරුරු 06 ක් හදුනා ගැනීම සදහා මෙතෙක් කිසිවෙකු පැමිණ නැත.

    කොළඹ ජාතික රෝහලේ විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු 20 ක් ඇති අතර, එම මළ සිරුරු පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇත. තුවාල ලැබූ විදේශකයින් 22 ක් කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇත. මඩකළපුව ශික්ෂණ රෝහලට මළ සිරුරු 29 ක් ලැබී තිබූ අතර, ඉන් 23 ක් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන්ට අද දින බාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

    මේ අතර බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් ප්‍රතිකාර කිරිම පිළිබදව ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා පවා ඇගයීමට ලක් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඉතා කෙටි කාලය තුල රෝගීන් ගිලන් රථ මගින් රෝහල් කරා යොමු කරවීමටත්, ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටත් පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයින් 290 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ රෝගීන් 480 ක් කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ උතුර හා දකුණ මහ රෝහල් සහ මඩකළපුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

    සාමාන්‍ය තුවාල ලැබූ රෝගීන් ප්‍රතිකාර ලබා නිවෙස් කරා පිටව ගොස් ඇත. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 29 ක් ප්‍රතිකාර ලබයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම කඩිනමින් සිදු කරන බවත්, අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් ලබා දී ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    Last modified on සදුදා, 22 අප්‍රේල් 2019 17:54

    Latest News