රනිල් වික්‍රමසිංහට බහුතරය නැහැ

නොවැ 02, 2018

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශවල පදනමක් නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    අද පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 98 දෙනෙකු පමණයි. ඒ අනුව, පෙනී යන්නේ එම පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවයි.මෙම රැස්වීම පැවැත්වුණේ, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට එරෙහිව විරෝධය පළකිරීම හා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින්.

    මන්ත්‍රීවරු 12 දෙනෙකු පැමිණ සිටියේ ඉලංගෙයි තමිල් අරසුකච්චු පක්‍ෂය නියෝජනය කරමින්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 2ක්. මෙම පක්‍ෂ දෙකේම මන්ත්‍රීවරුන් ඊට සහභාගි වූයේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අරමුණින් මිස, රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ඇති බව පෙන්වීමට නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වීමට රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා අදත් මුළුමණින්ම අසමත් වූ බවයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.

    හිටපු අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව, ඔහු විසින්ම අද ඔප්පු කරනු ලැබූ බව ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත්‍රීවරුන් 113 දෙනෙකු එකතු කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට කිසි විටකත් ජයගත නොහැකි ඉලක්කයක් බව, ඔප්පු වී ඇතැයි, එම පෙරමුණේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්.

     

     

     

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 07:22

    Latest News