අලුත් සහල් මංගල්‍යය (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වාර්ෂික අලුත් සහල් මංගල්‍යය අද (07) උදේ පැවැත්විණි.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. දිවයිනේ නන් දෙසින් පැමිණි ගොවි ජනතාව අද උදෑසන සිට සිය මහ කන්නයේ ප්‍රථම අස්වැන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට පෙරහැරින් පැමිණියේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පුරාණ චාරිත්‍රානුකූලව 52වැනි වරටත් අලුත් සහල් මංගල්‍යය මෙවර සංවිධාන කර තිබිණ. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අළුත් සහල් පූජා කිරීමේ අවස්ථාවට ගොවි ජනතාව සමඟ එක්වූහ. අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

    ඓතිහාසික රුවන්වැලි සෑ පුදබිමට ගිය ජනාධිපතිතුමා, චෛත්‍යාරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව, මහවැලි “එච්“ කලාපයේ වගා කළ වී අස්වැන්නේ ප්‍රථම අගසස් කිරිපිඩු පූජාව ඓතිහාසික රුවන්වැලි සෑරදුන් වෙත පූජා කිරීමට ජනාධිපතිතුමා එක්විය. මහවැලි “එච්“ කලාපයේ වපසරිය වන හෙක්ටයාර විසිපන් දහසම මෙවර වගා කිරීමට හැකිවූ අතර, අක්කරයකටවී බුසල් 125-130ත් අතර, ඉහළ අස්වැන්නක් ලබාගැනීමට ගොවීන් සමත්වූහ. මැති-ඇමතිවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 19:52

    Latest News