“උපාය මාර්ගික නගර සංවර්ධන“ ව්‍යාපෘතිය ජනතා අයිතියට

අප්‍රේ 07, 2019

    මහනුවර “උපාය මාර්ගික නගර සංවර්ධන“ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්විණි.

    ව්‍යාපෘති රැසක ඉදිකිරීම් ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදු කෙරිණ. බහුමාදිලි ප්‍රවාහන සංකල්පය යටතේ මහනුවර නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉඳ කෙරේ. එහි මූලික පියවර වශයෙන් පරිහරණය කෙරෙන බස් නැවතුම්පොළ භූමිය නිදහස් කර ගැනීම සඳහා බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තය සහ බස් ධාවන පාලක මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරිණ. ඊට ආයෝජන කළ මුදල රුපියල් මිලියන 182ක්.

    මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය විධිමත් ලෙස සංවර්ධනය කිරීම ද උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් පියවර ගෙන තිබේ. ප්‍රතිසංස්කරණය සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 172ක්. යටිතල පහසුකම් ඇතුළු වායු දූෂණ නියාමන ඒකකයක් ද එහි ස්ථාපනය කෙරිණ.

    බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල සහ කර්මාන්ත ඒකකවලින් ඉඩම් නිදහස් කර ගැනේ. ඉවත් කරන ගොඩනැගිලි වෙනුවට නව සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරේ. රුපියල් මිලියන 200ක වියදමින් එහි ඉදිකිරීම් ද ඊයේ ආරම්භ කෙරිණ. උපාය මාර්ගික ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 13:09

    Latest News