ලාභදායක නව "කොළ මඩින " යන්ත්‍රයක්

අප්‍රේ 07, 2019

    නව "කොළ මඩින " යන්ත්‍රයක් නිර්මාණය කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත්වෙයි.

    දැනට වෙළඳපොලේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා ආරක්ෂාකාරී මෙම නව "කොළ මඩින " යන්ත්‍රය ඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකිවේ. වර්තමානයේ කුඩා සහ මධ්‍ය පරිමාණ වී ගොවිතැනේ නිරතව සිටින ගොවීන්, තම අස්වැන්න සකස් කර ගැනීමේදී මුහුණ දෙන ගැටළු රාශියකට මින් පිළියම් ලැබෙන බව ඒ මහතා පවසා සිටී.

    kola 06

    ගොවීන් තම වී අස්වැන්න නෙලාගන්නා මොහොතේ සිට වී වෙන්කර ගැනීම දක්වා වර්තමානයේදී විවිධ ආනයනික බහුකාර්ය යන්ත්‍ර උපාංග භාවිතා කිරීමට පුරුදුව සිටී. මේ හේතුවෙන් ඇතැම් යන්ත්‍ර සඳහා පැයකට රුපියල් 10,000/- අධික මුදලක් ගෙවීමට සිදුවේ. එමෙන්ම අස්වැන්න නෙලන සමයන්හිදී ඇතිවන අධික ඉල්ලුම නිසා එවන් යන්ත්‍රයක් කුලියට ගැනීමට බොහෝ ගොවීන්ට දින ගණනක් බලා සිටීමටද සිදුවේ.

    kola 03

    මෙම බොහෝ යන්ත්‍ර භාවිතයේදී අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වීමද සිදුවේ. මෙම ආනයනික යන්ත්‍ර බොහොමයක මිල රුපියල් ලක්ෂ 10ට වඩා වැඩිවන බැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට එම යන්ත්‍ර මිලදී ගැනීමටද හැකියාවක් නොමැත. එමෙන්ම මෙම යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් වැයවන අතර එම අමතර කොටස් විදෙස් රටවලින් ගෙන්වීමට විශාල මුදලක්ද වැය කිරීමට සිදුවේ. මෙම බොහෝ බහුකාරිය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ශක්තියක් ( ඉන්ධන ) වැයවන අතර ඉන් සැලකිය යුතු පරිසර දුෂනයක්ද සිදුවේ.

    kola 07

    තම කුඹුරේ වී වගා කීරීමේදී තමන් විසින්ම අත්විඳි මෙම දුෂ්කරතාවයන් පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් කල්පනා කරමින් සිටියදී මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමට මග පෑදුනු බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

    ඒ අනුව යමින් , ඉවතලන යන්ත්‍ර කොටස් කීපයක් මුලික කොට ගෙන, රුපියල් දස දහසකට (10,000/-) අඩු වියදමකින් මෙම යන්ත්‍රයේ ප්‍රාථමික නිර්මාණයක් නිම කිරීමට වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත් වී ඇති අතර එම යන්ත්‍රය පළමු අත්හදා බැලීමේදීම සාර්ථක වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටී.

    kola 08

    ඉතා අඩු බලශක්තියක් වැයවීම, ඉතා පහසුවෙන් අඩු පිරිවැයකින් නිමකරගත හැකිවීම, ඉතා විශාල බහුකාර්ය යන්ත්‍ර ලඟා විය නොහැකි කුඩා කුඹුරු සඳහා යොදාගත හැකිවීම, පරිසර දුෂණය ඉතා අවම වීම, තනි පුද්ගලයකුට උවත් භාවිතා කල හැකිවීම, මෙම යන්ත්‍රයේ ඇති විශේෂ ලක්ෂණ කීපයකි.

    දැනට වෙළඳපොලේ පවතින කොළ මඩින යන්ත්‍ර මගින් සිදුවන අනතුරු නිසා බොහෝ විට යන්ත්‍රය ක්‍රිය කරවන්නගේ දෑත් පවා අහිමි වන අවස්ථා දක්නට ලැබෙන බවත්, මෙම යන්ත්‍රය මගින් අනතුරු ඇතිවීමේ සම්භාවිතාව ඉතාමත්ම අවම බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පෙන්වාදෙයි.

    මෙම යන්ත්‍රයේ සුළු වෙනස්කම් කීපයකින් අනතුරුව, විදුලි බලය නොමැති ස්ථානයක වුවද, මිනිස් ශ්‍රමය යොදාගෙන මෙම යන්ත්‍රය ක්‍රිකරවිය හැකි බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

    kola 01

    මෙම යන්ත්‍රය හරහා කුඩා පරිමාණ වී ගොවීන්ට, බහු කාර්ය යන්ත්‍ර හිමිකරුවන්ගේ මාෆියවන්ට යට නොවී, ස්වාධීනව තම අස්වැන්න සකස් කර ගත හැකි බවත්, නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම මගින් වැඩි ලාබයක් ඉතුරු කරගැනීමට හැකිවන බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතාගේ අදහසයි.

    ඉදිරියේදී මෙම යන්ත්‍රය තව දුරටත් වැඩි දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, රජයේ හෝ වෙනයම් ආයතනයක අවධානය යොමුවන්නේ නම් මෙය වෙළඳපොළට නිකුත් කළ හැකි මට්ටමට දියුණු කල හැකි බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

    kola 02

    මීට පෙරද වෛද්‍ය දුලාන් සමරවීර මහතා නව නිපැයුම් රැසක් රටට දායාද කොට තිබේ. පසුගිය වසරේ ඔහු විසින් නිර්මාණය කළ "මුහුදු රල මගින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රය" ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික මට්ටමින්ද කතාබහට ලක්විය. මේ වනවිට එම යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් එළඹෙන සතියේදී ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්චාවක් සිදුකෙරෙන බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 13:04

    Latest News