සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම්, තහනම් නියෝගය අහෝසියි; නඩුව මැයි 9

අප්‍රේ 02, 2019

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීමට ජනවාරි මස 29 දා ගත් තීරණය‍ වළක්වාලමින් පැනවූ තහනම් නියෝගය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) විසුරුවා හැර තිබේ.

    බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය ඉවත් කරනු ලැබිණ.

    සෞඛ්‍ය අමාත්‍යංශය ජනවාරි 29 වැනිදා සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් පිරිනැමීමට ගත් තීරණයට එරෙහිව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. ඒ අනුව මාර්තු 27 වැනිදා තෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ එම තීරණය වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පෙබරවාරි 26 වනදා තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

    අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තහනම් නියෝගය ඉවත් කර නඩු විභාගය මැයි මස 09 වනදා පැවැත්වීමට තීරණය කළේය.

    සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මගින් කියා තිබෙන්නේ වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන තිබු බවයි. එම සීමාවාසික පත්වීම් ප්‍රදානය කිරීමේදී සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකු ප්‍රතික්ෂේප කර රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව පෙත්සම්කරුවෝ චෝදනා කරති.

    එයින් මූලික අයිතීන් කඩ වී ඇති බවත් මේ පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා පෙත්සම් විභාගය අවසන් වන තුරු සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් පිරිනැමීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

    Latest News