ඩුබායිවල සැඟව සිටි පාතාල කල්ලිවල රහස් සෙවීම අරඹයි

මාර් 29, 2019

    ඩුබායි සිට පිටුවහල් කෙරුණ සැකකරුවන් පිළිබඳ විමර්ශන අධීක්‍ෂණය කිරීම, සම්බන්ධීකරණය හා නෛතික උපදෙස් සඳහා හත් දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ. ඒ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින්.
    ඩුබායි සිට පිටුවහල් කළ මොහොමඩ් නජීම් මොහාමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා, අමිල සම්පත් සේපාල රත්නායක, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩර්ස් යන පිරිස ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. කංජිපානි ඉම්රාන් නමැත්තා, ඊයේ රාත්‍රි කටුනායක සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබුවේ, දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ. අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා නමැත්තා, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයකටම අවශ්‍ය බැවින් ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී ලබන අප්‍රේල් 02 දක්වා සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
    කලුතර උතුර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. අමිල සම්පත් සේපාල රත්නායක යන අය රොටුඹ පොලිසියට බාරදීමෙන් පසු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

    Latest News