ජනපති චීන නිල සංචාරය අරඹයි

ඔක් 16, 2023

    සිය සිව්දින චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන "එක් තීරයක් – එක් මාවතක්" සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිට ලබන 20 වනදා දක්වා චීනයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

    මෙම සංචාරය තුළදී ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

    මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන් හි වගකීම් පවරා තිබේ.

    ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇත.

    රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News