ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, ස්වාධීනත්වයට හානිවන කිසිවක් නොකරන බව ජනපති කියයි

මාර් 27, 2019

    ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට අද (27) පෙරවරුවේ එක්වෙමිනි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහි දී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සඳහන් කළේය.

    මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප‍්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අතර මානව හිමිකම් කොමිසම නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාර ගැනීමේ ප‍්‍රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමග සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනු දැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ති‍්‍රවිධ හමුදාව රජය මෙන් ම ජනතාව පාවාදිමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිතුමා රටේ විදේශ ප‍්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.

    ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමග කිසිදු සාකච්ජාවක් නොපවත්වා බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා පෙබරවාරි 25වන දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැළපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප‍්‍රකාශ කළේය.

    එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදි කුමන්ත‍්‍රණ අද ද වෙනස් ක‍්‍රමෝපායන් මගින් රටට එල්ලවීමට පටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිතුමා අපට යහපත් විදේශ සබඳතා තිබිය යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට ඒවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

    කළුතර, මීගහතැන්න නව පොලිස් ඒකකය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි. සමරු ඵලකය නිරාවරණය කර නව පොලිස් ඒකකය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    Latest News