ගෝඨාභයගේ අභියාචනය ජූනි විභාගයට

මාර් 26, 2019

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම මැයි මස 06 වනදා සිදු කිරීමට අභියාචනාධිකරනය අද නියම කළේය.

    අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබිණ.

    එම පෙත්සම අද අදාල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එය සලකා බැලීම සඳහා දිනයක් නියම කරන මෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පෙත්සම මැයි මස 6 වන දා සලකා බැලිමටයි අභියාචනාධිකරණය නියම කළේය.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා ඇති බවයි. එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එම නඩුව විභාග කිරීමට තීන්දු කළ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා පවසයි. එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ගොනුකිරීම සඳහා අභියාචනා අවසරපත් ඉදිරිපත් කළ අවස්ථාවේ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටි.

    එසේ සිය අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය නීති විරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම පිළිබඳ අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය ඉල්ලා සිටි.

     

     

     

     

     

     

     

    Latest News