කාන්තාව සවිබල ගැන්වීමට රජය පියවර රැසක් අරන්;අගමැති

මාර් 26, 2019

    දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කාන්තා දායකත්වය නොමැතිව රටක ආර්ථිකය දියුණු කළ නොහැකි බවයි, අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් පැවසීය. 

    “ධනාභිමානී“ කාන්තා සම්මේලනය පැවැත්වුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සෑම අංශයක් ඔස්සේම කාන්තාවන් සවිබල ගන්වමින් රටේ ආර්ථිකයට ඵලදායි අන්දමින් සම්බක්ධ කර ගනිමින් කාන්තා ව්‍යවසායකත්වය දිරි ගැන්වීම වැඩසටහනේ අරමුණයි. මෙය සංවිධාන කළේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    “ආණ්ඩුවක් හැටියට අපි තමයි වැඩියෙන්ම මේ රටේ වනිතාවන් බලගතු කරන්නට ක්‍රියා කරලා තියෙන්නේ. ඒක ප්‍රතිපත්තියක්. අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. මේ වෙනස මෙහෙම තිබ්බොත් කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා. මේ බලගතු කිරිම හැම අංශයකින්ම සිදුවෙන්න ඕනේ.

    මේ නිසා තමයි අපි තීරණය කළේ කාන්තා නියෝජනය ප්‍රාදේශීය සභා මට්ටමේ ඇති කරන්න. බොහෝ දෙනෙක් ඒකට විරුද්ධ වුණා. කාන්තා නියෝජනය නිසා අද බිම් මට්ටමේ එක එක පක්‍ෂවලට අයත් කාන්තා නියෝජිතවරියන් ගණනාවක් ඉන්නවා. එදා එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් හිටපු ප්‍රාදේශීය සභාවේ අද සියයට 25ක් ඉන්නවා.

    අන්න ඒක බලයක්. පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල ඒ සංඛ්‍යාව ඉන්නවනම් පාර්ලිමේන්තුවට තෝරා ගන්න එක අමාරු වැඩ කටයුක්තක් නොවෙයි. ඒත් උඩහට, උඩහට යන්න කාන්තාවන්ට තියෙන නියෝජනය අඩුවෙනවා. ඒ නියෝජනය වැඩිකරන්න අපි අය-වැයෙන් යෝජනා කරලා තියෙනවා විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පෙළේ තියෙන සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්ඩලයටත් කාන්තාවන් පත්කරන්න උවමනායි කියලා.

    “ධනාභිමානී“ වැඩසටහන මේ රට තුළම ව්‍යාපාරිකයන් තුන්දාහක්, හාරදාහක් බිහිවෙනවා. අපි ඒ වගේම ක්‍රියාකරගෙන යනවා මේ රටේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන හැම තැනම ඇති කරන්න. අය-වැයෙන් විදේශ රැකියාවල යෙදෙන අයටත් අපි ණය මුදල් දීලා තියෙනවා නිවාස හදන්න. කාන්තාවන් නැතුව ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. මෙහෙම වැඩපිළිවෙළක් තව අවුරුදු කිහිපයක් ඉදිරියට ගෙන යාම අපිට උවමනා ප්‍රතිඵල අපට ලැබෙනවා කාන්තාවන් ශ්‍රම බලකායෙන් බාගයකටත් වැඩිය වැඩිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    රාජ්‍ය අමාත්‍ය අලිසාහීර් මවුලානා, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන් ඇතුළු ව්‍යවසායක කාන්තාවන් විශාල පිරිසක් ද මීට එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 20:40

    Latest News