සුවිසල් අග්බෝ ගේ සුව ගමන සෙමින්

ජූලි 19, 2023

    තිරප්පනේ ප්‍රදේශයේ තුවාල ලබා සිටින අග්බෝ හස්තියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඊයේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයෙනුත් අප අවධානය යොමු කළා.

    අදාළ ආයතනවල මනා සම්බන්ධීකරණයකින් හස්තියාට ප්‍රතිකාර කිරීම මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙනවා.

    අ‍ග්බෝ හස්තියාට බදින තුවක්කුවක් පත්තුවී‍මෙන් ඉදිරි පාදයකට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා. ඊට ප්‍රතිකාර කිරීම වන ජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ආරම්භ කළේ, පසුගිය මස 12 වැනි දිනයි. එතැන් සිට මේ දක්වා දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඊයේ වන විට, 13 වතාවක් හස්තියාට ප්‍රතිකාර කර තිබෙනවා. එම ප්‍රතිකාර සිදු කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව හස්තියාගේ විශාලත්වයි. ඒ නිසා නිර්වින්දනය කිරීමේ ගැටලුවකට පශු වෛද්‍යවරුන් මුහුණ දී සිටිනවා. ‍එමෙන්ම හස්තියා රැඳී සිටින ප්‍රදේශය දඩයම් සඳහා බදින තුවක්කු බොහෝ සේ යොදා ඇති ප්‍රදේශයක්. එවැනි අභියෝග රැසකට මුහුණ දෙමින් වනජීවී නිලධාරීන් සහ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් දැඩි කැපවීමකින් ප්‍රතිකාර කරනු ලබනවා. ප්‍රතිකාර හමුවේ යම් සුළු සුවවීමක් පෙන්නුම් කළත්, එම තුවාලය පැතිර යාම නිසා අවදානම ඉහළ ගොස් තිබෙනවා.

    ඒ නිසා පරිසරවේදීන් සහ බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ, අග්බෝට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවයි. ඊයේ ද ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ අප ඒ පිළිබඳ අවධානය යොමු කළා. අත්දැකීම් ඇති පළ පුරුදු කණ්ඩායමක් ඒ වෙනුවෙන් යොදවා, එක් ප්‍රදේශයක අග්බෝ රඳවා ගෙන ප්‍රතිකාර කිරීම වඩා සාර්ථක බවයි, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අවශ්‍ය ඖෂධවල හිඟයක් ද නොමැති බවයි. ඇතැම් කණ්ඩායම් විදේශ රටවල සිට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට ද කටයුතු කර තිබෙනවා. එසේ ලබා දුන් ඖෂධ තොගයක් ගුවන්තොටු‍පොළේ දී රේගුව රඳවා ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. මේ වටිනා හස්තියාගේ ජීවිතයට හානිවීමේ අවදානම දිනෙන් දින ඉහළ යන බව, පැහැදිලි කරුණක්. දිනක් හැර දිනක් ප්‍රතිකාර කිරීම සහ ඇවිදීමේ අපහසුව නිසා අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලැබෙනවා ද යන්නත් ගැටලුවක්. ඒ නිසා අග්බෝට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් මතුව තිබෙන බව, පැහැදිලිවන කරුණක්. උද්ගතව ඇති තත්වය හමුවේ කෙසේ හෝ මේ වටිනා සම්පත රැක ගැනීමට අදාළ බලධාරීන් මේ මොහොතේ කටයුතු නොකළ හොත්, අවුරුදු 35 කට ආසන්න වයසේ පසුවන මේ වටිනා හස්තියා රටට අහිමි වීම වැලැක්විය නොහැකියි.

    Latest News