පොලීසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳ දැනුවත් කර තිබියදී එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, තවදුරටත් ප්‍රකෝප වූ පිරිස් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.
එම පිරිසෙන් වැඩිදෙනෙක් මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට නිරීක්ෂණය වූ බව ද සඳහන් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් ද පොලීසිය තුළට එල්ල කර ඇති බව සඳහන් කර තිබෙනවා.
එම පිරිසේ කලහකාරී හැසිරීම අනුව පොලිස් ස්ථානයට ඇතුළු වුවහොත් සිදුවිය හැකි හානිය සහ රාජකාරි කටයුතුවල නියුතු නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකර තත්ත්වය පාලනය කිරීම සඳහා ස්ථානාධිපතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි ප්‍රහාර 38ක් පමණ එල්ල කර තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් පසු කලහාකාරී පිරිස පොලිස් භූමියට ඇතුළු වීමෙන් වැළකී හඟුරන්කෙත - මහනුවර ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් පැයකට ආසන්න කාලයක් විරෝධය දක්වා විසිර ගොස් ඇති බව වාර්තා වනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් ජීවිත හානි හෝ පුද්ගලයින්ට තුවාලවීම් කිසිවක් සිදුව නොමැති අතර පොලීසියේ ප්‍රධාන ගේට්ටුව පෙරළා දැමීමෙන් අලභහානි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.
කලහාකාරී ලෙස හැසිරුණු පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (25) මියයෑමේ සිදුවීමකට අදාළව, පහරදීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් අට දෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව ක්රියාත්මන වන පසුබිමක පිරිස මෙලෙස කළහකාරී ලෙස හැසිරුණු බවයි, පොලීසිය සඳහන් කරන්නේ.