ටෙලිකොම් ගැන අධිකරණය කියූ කථාව

ජූනි 15, 2023

    ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට, තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

    ඒ, නඩුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී.  ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව, වෘත්තිය සමිති දෙකක්, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ඉකුත් මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි. එමෙන්ම, පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින් ද මෙම කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බව, ඔහු පෙන්වා දුන්නා.

    ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරී‍මේ ක්‍රියාවලියෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි, පෙත්සම්වලින් චෝදනා කර තිබුණේ. එම චෝදනවේ කිසිදු පදනමක් නොමැති බව, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.  පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාර‍යේ අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත්. විදේශ ආයෝජකයන් මෙරටට පැමිණීම මඟහැර වෙනත් රටවල් කරා ඇදී යාමට හැකියාව තිබෙන බව, නියෝජ්‍ය ‍සොලිසිටර් ‍ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

    මෙම ක්‍රියාදාමයෙන් ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව, එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයන්ටත් හිමි වන බැවින්, මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙළක් බවයි, ඔහු අවධාරණය කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙන විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළා.

    Latest News