පොලිස්පතිගෙන් නාලක සිල්වාට දැනුම් දීමක්

ඔක් 31, 2018

    ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ, ස්ථාපනය කිරීමට සැලසුම් කළ විශේෂ මෙහෙයුම් කණ්ඩායම සඳහා, පොලිස්පතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.

    ඒ බව සඳහන් වන්නේ, ත්‍රස්තවාදී විමර්ශන දිශාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතා පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාට ලිපියක් මගින් දැනුම් දුන් අවස්ථාවේදී.

    2018.05.11 දිනැති ලිපියේ සඳහන් පරිදි, පොලිස්පතිවරයාගේ අනුමැතිය ඊට ලැබී තිබේ. එමෙන්ම, 2018.08.13 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයාට යවන ලද ලිපියේ ද සඳහන් වන්නේ, අදාළ විශේෂ මෙහෙයුම් කණ්ඩායම සඳහා පොලිස්පතිවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.

    එම කණ්ඩායමට ටී-56 ගිනි අවි 3ක්, එල්.එම්.ජී. අවි 2ක් හා මිනි උෂි අවි 5ක් හා එම උණ්ඩ ද අවශ්‍ය බව සඳහන්වේ. කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුයුක්ත කරන ලෙස, අදාළ බලධාරීන්ට, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ එවකට සිටි අධ්‍යක්‍ෂවරයා දැනුම් දී තිබේ.

    මෙහෙයුම සඳහා කාකි ඇඳුමින් සකස් කරන ලද “ඕවරෝල්“ ඇඳුම් කට්ටල 14ක් සකස් කර, එම නිලධාරීන්ට නිකුත් කළ යුතු බව ද එම ලිපිවල සඳහන්. අවි ආයුධ පුහුණුව සිදු කරන්නේ, එම ලිපියට අනුව කටුකුරුන්ද විශේෂ කාර්ය බලකායේ. එය සතියක පුහුණුවක්. මෙම විශේෂ මෙහෙයුම් කණ්ඩායම ස්ථාපනය කරන වකවානුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැයි, ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය.

    Latest News