අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන්ගේ 79 වැනි ජන්ම දිනය අද

මැයි 30, 2023

    මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහ නායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන්ගේ, 79 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

    දශක 6 කට අධික කාලයක සිට, දෙස් විදෙස් ධර්ම ප්‍රචාරය සඳහා උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.

    1957 වසරේ පොසොන් මාසයේදී පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ, 1964 වසරේදී උපසම්පදාව ලබා ගත්තා. රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත විපස්ස්‍යාභිධාන මහ නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව, මල්වතු මහා විහාරයේ 26 වැනි නා හිමියන් ලෙස, උන්වහන්සේ පත් වුණා. මල්වතු මහා විහාරීය මහා සංඝ සභාව හා එක් වෙමින්, උන්වහන්සේ සිසුන් උදෙසා අධ්‍යාපන උපකරණ ලබාදීම, ශිෂ්‍යත්ව ලබාදීම මෙන්ම, වෛද්‍ය සායනයන් පැවැත්වීම, නව නිවාස ඉදිකර දීම වැනි සමාජ සත්කාරයන් රැසක් ඉටු කර තිබෙනවා. යුද්ධය පැවති සමයේ, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට උන්වහන්සේ කළ මෙහෙය, අදත් එම ප්‍රදේශවල ජනතාව සිහිපත් කරන්නේ, මහත් කෘතවේදීත්වයෙන්. තවත් චිරාත් කාලයක් බුදුදහමේ චිරස්ථිතිය හා සමාජ ශෝධනය සඳහා තම මෙහෙවර ඉටු කිරීමට උන්වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවායි, ජාතික රූපවාහිනියේ ප්‍රාර්ථනයයි.

    Latest News