කිතුල් කර්මාන්තයටත් රිලවුන්ගෙන් හානි

මැයි 13, 2023

    රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ පවසති.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ හමුවූ අවස්ථාවේ ඔවුන් මේ බව පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. අමාත්‍යවරයා ඊයේ දිනයේ ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීම සඳහා එම ගම්මාන රැසකට ගොස් ඇත.

    තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් විසින් එක මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත් , රිළවුන් දහස් ගණනක් මේ වනවිට එම ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය සිදුකරන බවත් එම කර්මාන්තකරුවෝ අමාත්‍යවරයා වෙත පැවසූහ.

    එබැවින් කෙසේ හෝ මෙම විනාශය අවසන් කර දෙන්ලෙසයි ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ. ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා උතුරු කොරියාව ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි. මේ වනවිට රටේ සමස්ත කිතුල් කර්මාන්තය තුළින් මෙරටට ලැබෙන ආදායම රුපියල් මිලියන 50,000කට අධික වේ.

    ඊයේ (12) පස්වරුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ හා රත්නපුර ප්‍රදේශවල කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන මගින් ක්‍රියාත්මක කර තිබෙන කිතුල් සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යනු IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියකි.

    Latest News