බොහෝ ප්‍රදේශවලට අද දවස පුරා වැසි බර කාලගුණයක්

මැයි 05, 2023

    ‍දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දවස පුරා වැසි බර කාලගුණ තත්වයක් පවතිනු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    විදුලි බලාගාර අශ්‍රිත ප්‍රදේශවලට හෙට දිනයෙන් පසුවද තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ නිවේදනයේ සඳහන්.

    බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු, උතුරු සහ නැගෙහිර යන පළාත්වල විටින් විට වැසි‍ ‍ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි අපේක්‍ෂා කෙරෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගත හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර 40 ත් 50 ත් පමණ තද සුළං ඇති විය හැකියි. හෙට සිට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.

    එම නිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශයන්හි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද, කාලගුණ නිවේදනයේ සඳහන්. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සුළු වශයෙන් රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, එවිට අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස, ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

    Latest News