මුතුරාජාට ඇතිවූ කැළලින්, රටට ඇතිවන කැළල

අප්‍රේ 29, 2023

    තායිලන්ත තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අලුත්ගම, කන්දේ විහාරයේ සිට දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ මුතුරාජා හස්තියාගේ සෞඛ්‍ය මේ වන විට යහපත් තත්වයකට පත්ව ඇති බව, සත්වෝද්‍යානයට බලධාරීන් පවසනවා.

    මුතුරාජා දීර්ඝකාලීන රෝගාබාධ කිහිපයකින් පෙලුනු අතර, රැක බලා ගැනීමේදී සිදුව ඇති නොසැලකිලිමත්භාවය හේතුවෙන් හස්තිරාජයා, දෙහිවල සත්වෝද්‍යානයට වෙත රැගෙන විත් තිබුණා.  මුතුරාජා හස්තියා අලුත්ගම කන්දේ විහාරයට පූජා කරන ලද්දේ, තායිලන්ත රජය විසින්.

    එම විහාරස්ථානයේ හැදී වැඩුණු හස්තියා රැක බලා ගැනීමේදී, සිදුව ඇති නොසැලකිලිමත්භාවය පිළිබඳව පරිසර සංවිධාන දිගින් දිගටම චෝදනා එල්ල කළා. ඒ වන විට මුතුරාජා රෝගාබාධ කිහිපයකට මුහුණ දී සිටියා. ඉදිරි පාදයක් නැමීමට නොහැකි තත්වය සහ තුවාල කිහිපයක් ද ශරීරයේ දක්නට ලැබුණා.

    මුතුරාජා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ඒමට තායිලන්ත තානාපති කාර්යාලය පියවර ගත්තේ, ඒ අනුවයි. මීට මාස 5 කට පමණ පෙර දෙහිවලට රැගෙන ආ මුතුරාජාට ප්‍රතිකාර කිරීම පශු වෛද්‍යවරුන් විසින් ආරම්භ කරනු ලැබූ අතර, හස්තියා රැක බලා ගැනීමට තායිලන්තයෙන් ඇත්ගොවුවෙක් ද එහි පැමිණ සිටිනවා.

    මුතුරාජා ඉදිරියටත් සත්වෝද්‍යානය තුළ රඳවා ගැනීමට අවසර ලැබෙන්නේ නම්, ඉදිරි පාදයට ප්‍රතිකාර කිරී‍මේ හැකියාව පවතින බව, සත්වෝද්‍යානයට දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.  මද සමය අවසන් කර සිටින මුතුරාජා නොබෝදිනකින් රැගෙන යාමටයි, තායිලන්ත රජය සූදානමින් සිටින්නේ.

    යළි තායිලන්තයට රැගෙන යාම හස්තියාගේ යහපතට හේතු වුවත්, එය රටක් ලෙස ශ්‍රී ලංකාවට දැඩි අපකීර්තිමත් කරුණක් වනු ඇති. එම නිසා මේ කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්රිපක මට්ටමින් හෝ මැදිහත් වීම බලධාරීන්ගේ වගකීමක්.

    Latest News